ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නාම යෝජනා ලැයිස්තුව ඉදිරි දින දෙක ඇතුළත සකස් කර අවසන් කරන බව නිදහස් පක්ෂයේ මහ ලේකම් අනුර ප්‍රියදර්ශණ යාපා පවසනවා.
කොළඹ අද (08) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ පක්ෂය තුල කණ්ඩායම් දෙකක් නොමැති අතර කිසිවෙකු තවත් කිසිවෙකුට කොන්දේසි පැනවීමක් සිදු කර නොමැති බවයි.
දූෂණ සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති පුද්ගලයන්ට නාමයෝජනා ලබාදෙන්නේ දැයි මෙහිදී මාධ්‍යවේදීන් මහ ලේකම්වරයාගෙන් ප්‍රශ්ණයක් විමසා සිටියා. එහිදී මහලේකම්වරයා කියා සිටියේ දූෂිතයන් යන වචනය පිළිනොගන්නා බවයි. ඕනෑම කෙනෙකුට චෝදනා එල්ල වන්නේ නම් ඒ සම්බන්ධයෙන් අධිකරණය හමුවේ විභාග කර විනිශ්චයක් තිබිය යුතු බව ද ඔහු මෙහිදී සදහන් කළා.
මේ අතර, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ පාර්ශවය නියෝජනය කරන අමාත්‍ය දුමින්ද දිසානායක සඳහන් කළේ ජනාධිපතිවරයා, නිදහස් පක්ෂ නාම යෝජනා ලැයිස්තුවට මෙතෙක් අනුමැතිය ලබාදී නොමැති බවයි.
එමෙන්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් අද උදෑසන මිරිහානේ පිහිටි ඔහුගේ නිවසේදී පැවැත්වුණා. ඊට හිටපු මන්ත්‍රීවරුන් වන දිනේෂ් ගුණවර්ධන, බන්දුල ගුණවර්ධන, සාලින්ද දිසානායක, කුමාර වෙල්ගම, ටී.බී. ඒකනායක ඇතුළු හිටපු ජනාධිපතිවරයාගේ පාර්ශවය නියෝජනය කරන මන්ත්‍රීවරුන් පිරිසක් සහභාගි වී සිටියා. එහිදී නිදහස් පක්ෂ නාම යෝජනා ලැයිස්තුවේ පවතින ගැටළු පිළිබඳව වැඩිදුරටත් සාකච්ඡා කෙරුණු බවයි ඊට එක්වූ නියෝජිතයෙකු සදහන් කළේ.