කොරෝනා ආසාදිතව අභාවප්‍රාප්ත වූ හිටපු කථානායක වි.ජ.මු. ලොකුබණ්ඩාරගේ දේහය පිළිබඳ අවසන් කටයුතු කොටිකාවත්ත ආදාහනාගාරයේදී අද පස්වරුවේ සිදු කෙරුණා.
ඒ, නිරෝධායන නීතීන්ට අනුකූලවයි.
කොරෝනා වෛරසය ආසාදිතව අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කෘතහස්ත දේශපාලනඥයෙකු වන වි.ජ.මු. ලොකුබණ්ඩාර ඊයේ රාත්‍රියේ අභාවප්‍රාප්ත වනවිට 80 වන වියේ පසුවුණා.
1977 වසරේදී මුල් වරට පාර්ලිමේන්තුවට තේරී පත්වූ ඔහු ඇමතිවරයෙකු, කථානායකයෙකු ලෙස මෙන්ම ආණ්ඩුකාරවරයෙකු ලෙසද කටයුතු කළා.
මේ අතර, හිටපු කථානායක වි.ජ.මු. ලොකුබණ්ඩාර ජනතාවාදී දේශපාලනඥයෙකු, සාහිත්‍යධරයෙකු සහ විචාරකයෙකු ලෙස මෙරට තැබූ සළකුණු තවත් බොහෝ කාලයක් සමාජයේ කථිකාවන්ට මූලබීජ සපයනු ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කළා.
හිටපු කථානාකවරයාගේ අභාවය වෙනුවෙන් ශෝක පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා කියා සිටියේ ජනතාභිලාෂයන් කෙරෙහි දැඩි අවධානයකින් පසුවූ වි.ජ.මු ලොකුබණ්ඩාරයන්ගේ දේශපාලන භූමිකාව පක්ෂ විපක්ෂ සියලුදෙනාගේ බුහුමනටද ලක්වූ බවයි.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂද ශෝක පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේ හෙළ හවුලේ සාහිත්‍යධරයෙකු ලෙස සාහිත්‍යයට අනුපමේය සේවයක් ඉටුකළ වි.ජ.මු ලොකුබණ්ඩාර දේශපාලනඥයෙකු ලෙස මාතෘ භූමියේ අභිලාෂයන් වෙනුවෙන් අමිල මෙහෙවරක නිරතවූ බවයි.