හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ඉදිරි මහ මැතිවරණයේදී අගමැති අපේක්ෂකත්වය හෝ කණ්ඩායම් නායකත්වය ලබානොදීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඊයේ (02) තීරණය කර තිබෙනවා.
ඊයේ පස්වරුවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන පක්ෂ නායකයන් සමඟ ජනාධිපතිවරයා පැවැත් වූ සාකච්ඡාවේදී මෙම තීරණය ගෙන ඇති බවයි සඳහන් වන්නේ. එම සාකච්ඡාවට සහභාගි වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර කියා සිටියේ සන්ධාන මැතිවරණ ව්‍යාපාරයේ නායකත්වයද මහින්ද රාජපක්ෂට ලබානොදීමට ජනාධිපතිවරයා එහිදී තීරණය කළ බවයි.
කෙසේ වෙතත්, ඊයේ රාත්‍රියේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයන් පිරිසක් සමඟ මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් සාකච්ඡාකර තිබෙනවා. අද (03)උදෑසන 10 ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී සන්ධාන නායකයන් හමුවී සිය තීරණය නිල වශයෙන් දැනුම්දීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.
මීට අමතරව අද උදෑසන නිදහස් පක්ෂයේ විධායක කාරක සභා රැස්වීමක්ද කැඳවා ඇති බව වාර්තා වනවා.
මේ අතර, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අගමැති අපේක්ෂකත්වයට පත්කළ යුතු බවට පවසන පාර්ශවයේ පක්ෂ හා සංවිධානවල නියෝජිතයන් ඊයේ රාත්‍රියේ තවත් සාකච්ඡාවක් පවත්වනු ලැබුවා. හිටපු ජනාධිපතිවරයාගේ කොළඹ පිහිටි නිවසේ මෙම සාකච්ඡාව පැවැත් වූ අතර, ඒ සඳහා ජී.එල්.පීරිස්, දිනේෂ් ගුණවර්ධන, බන්දුල ගුණවර්ධන, විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර,ටී.බී.ඒකනායක, පවිත්‍රා වන්නිආරච්චි, මහින්දානන්ද අළුත්ගමගේ, වයි.ජී.පත්මසිරි යන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, උදය ගම්මන්පිල, පූජ්‍ය වටිනාපහ සෝමානන්ද හිමියන්ද ඇතුළු පිරිසක් සහභාගි වී තිබෙනවා.
මේ අතර මහින්ද රාජපක්ෂ යළි දේශපාලනයට පිවිසීමට ගන්නා උත්සාහය පිලිබඳ ඊයේ (02) පැවති මාධ්‍ය හමු රැසක දී අදහස් පළවුණා.