බෝමිරිය මධ්‍ය මහා විද්‍යාලයේ කලා අංශයෙන් 12 ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන සංජු සුබෝධා සෙව්වන්දි නව නිපැයුමක් කර ජාත්‍යන්තරය දිනාගත් පුංචි හපනියක්. බෝමිරිය මධ්‍ය මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලද සෙව්වන්දි නව නිපැයුම් අංශයට යොමු වූයේ දෛවෝපගත සිදුවීමක් සමඟ ය. ඒ සිය පියාගේ හදිසි අනතුරත් සමඟ ය.
“මගේ තාත්තා මේසන් වැඩ කරලා තමයි අපිට ඉගැන්වූවේ. තාත්තා මේසන් වැඩ කරද්දී හදිසි අනතුරකට ලක්වෙලා කකුළ කැඩී ආබාධිතයෙක් බවට පත් වුණා. මගේ තාත්තාට ඇවිදින්න පඩියක් නඟින්න බැරි වීම ගැන මම හුඟක් දුක් වුණා.
හුඟක් දුරට හිතුවා, තාත්තාට පඩි නඟින්න විකල්පයක් සොයන්න. මම යසවර්ධන සමන්කුමාර සර්ට මේ ගැන කිව්වා. සර්ගේ සහයෝගයෙන් මම ආබාධිත හෝ වයසක පඩි පෙළ නගින්න අමාරු අයට පඩිනැගිය හැකි අත්වැල් ආධාරකයක් ලීයෙන් සකස් කළා. මගේ නව නිපැයුමේ ආරම්භය සිදුවුණේ එහෙමයි...” සෙව්වන්දි එසේ පවසයි.
සෙව්වන්දි මෙම ලී ආධාරකය සෑදීමට ප්‍රථම මාළු ටැංකියක මාළු සිටින විට වතුර ඉවත් කරන ආකාරයේ නව නිපැයුමක් ද කළා ය. මේ ආකාරයෙන් නව නිර්මාණයන්හි නියැළෙද්දී ඒ ගැන වූ ඇගේ දැනුම ද ක්‍රමයෙන් දියුණු විය.
සෙව්වන්දි සිය පියා වෙනුවෙන් තැනූ ආධාරකය සිය ගුරු පියා වන යසවර්ධන මහතාගේ ආධාරය ද ඇතිව අවස්ථා 4 කදී වැඩි දියුණු කළා ය. මුලින් ම අත්වැල ආධාර කරගෙන පඩි නඟින මෙම උපකරණය ඇය සෑදුවේ ලී වලිනි. දෙවැනි අදියරේ දී එය වැඩි කල් පැවැත්ම සඳහා යකඩයෙන් තැනී ය. දෙවැනි අදියරේ තැනූ එම නිපැයුම යකඩයෙන් තැනූ නිසා බරෙන් වැඩි විය. වයසක හා ආබාධිත අයට එය බර වැඩි වූ නිසා තෙවැනි අදියරේදී බර අඩුවෙන් තනන්නට ඇයට හැකි විය. මේ අවස්ථා කිහිපයේදී ම නව නිපැයුම් අංශ භාර යසවර්ධන මහතා මෙන් ම ශ්‍රී ලංකා ඉංජිනේරු පර්යේෂණ ආයතනය ඇයට තාක්ෂණික සහය ලබා දුන්නේ ය. තුන්වන අදියරේ වූ අඩු පාඩු ඇය සාදා ගත්තේ හතර වැනි අදියරේදී ය.
2014 සැප්තැම්බර් මාසයේ සෙව්වන්දිගේ නව නිපැයුම ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය මගින් සංවිධානය කළ නව නිපැයුම් තරගයට ඉදිරිපත් කෙරිණි. සෙව්වන්දි විසින් සකස් කළ කුඩා ආධාරකය පඩි පෙළේ අත්වැලට සිරකර ගනිමින් ආබාධිත හා වයසක අයට නොවැටීමකින් තොරව පඩි පෙළ නඟින්නටත් බසින්නටත් හැකි වූ නිසා ඇයගේ නව නිපැයුම 2014 වසරේ කනිෂ්ඨ නව නිපැයුම් තරගයෙන් ලංකාවේ ප්‍රථම ස්ථානයත් එයට හිමි රන් පදක්කමත් දිනාගත හැකි විය.
ඇමෙරිකාවේ පීටර්ස්බර්ග් නුවර පැවැති නව නිපැයුම් තරගාවලිය පැවැතියේ 2015 මැයි මස 10 සිට 15 වැනිදා දක්වාය. හොඳම නව නිපැයුමට ලබාදෙන ඔලිම්පියාඩ් කිරුළ හිමිකර ගැනීමට මේ තරගාවලියට ඉදිරිපත් වූ රටවල් 80 කින් නව නිර්මාණ 1700 ක් ඉදිරිපත් කර තිබුණි. අපේ පුංචි රට නියෝජනය කරමින් මෙම පුංචි අත්වැල රැගෙන බෝමිරියේ සෙව්වන්දිත්, ජලය සම්බන්ධ කරගෙන ආලෝකය එක තැනකට වැටෙන්නට සැලැස්වූ නව නිපැයුමක් කළ යාපනයේ හාඩ්ලි විදුහලේ ශිවදරන් ද සහභාගි වූහ.