වයස අවුරුදු 16 ක් වන බාල වයස්කාර පෙම්වතියට පිහියකින් පහර දී ඇයට තුවාල සිදු කර පලා ගිය පෙම්වතෙකු අත්අඩංගුවට ගැනීම සදහා විමර්ශණ කටයුතු ආරම්භ කර ඇති බව ආණමඩුව පොලීසිය පවසනවා.
සැකකරු විසින් පිහියකින් පහර දීම හේතුවෙන් තුවාල ලබා ඇති දැරිවිය මේ වන විට පුත්තලම මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා. ඇයගේ වම් අතේ ස්ථාන කීපයකම කැපුම් තුවාල ඇති බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරනවා.
රෝහල් ගත කර ඇති දැරිවිය නිකවැරවිය - මීවැල්ලාව,එළගම්විල්ලව පදිංචිකාරියකි. ඇය නිකවැරටිය ප්‍රදේශයේ පාසලක ඉගෙණුම ලබමින් සිටින බවයි වාර්තා වන්නේ. සැකකරු තඹුත්තේගම පදිංචි 22 හැවිරිදි අයෙකි. කාලයක් විදේශ ගත වී සිට ඇති සැකකරු දිවයිනට මෑතක පැමිණි අයෙකු බවද පොලීසිය විසින් අනාවරණය කරගෙන ඇති බවට වාර්තා වනවා.
සැකකරු සහ රෝහල් ගත කර ඇති දැරිවිය අතර ප්‍රේම සම්බන්ධතාවයක් පැවත තිබෙනවා. එම සම්බන්ධතාවයේ ප්‍රතිඵලයක් ලෙස සැකකරු විසින් ලබා දී ඇති දුරකථන ඇමතුමකට අනුව පසුගිය 08 වැනිදා සවස දැරිවිය ආණමඩුව නගරයට පැමිණ ඇති අතර පසුව සැකකරු පැමිණි යතුරු පැදියේ නැගී දෙදෙනාම ආණමඩුව - කෝන්වල කන්ද ප්‍රදේශයට ගොස් තිබෙනවා.
එහිදී ඇති වූ බහින් බස් වීමකින් පසුව සැකකාර පෙම්වතා තමන්ට පිහියකින් පහර දී යතුරු පැදියේ නැගී පලා ගිය බව රෝහල් ගත කර සිටින දැරිවිය පවසා තිබෙනවා. ප්‍රේම සම්බන්ධතාවය නවතා දමන ලෙස පෙම්වතා විසින් ඉල්ලා සිටි බවත්, එම අවස්ථාවේදී දෙදෙනා අතර බහින් බස් වීම ඇති වූ බවත් ඇය පොලීසිය හමුවේ පවසා තිබෙනවා.
කැපුම් තුවාල සහිතව මහ මඟ සිටි දැරිවියව අසල්වැසියන් විසින් ආණමඩුව දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සදහා පුත්තලම මූලික රෝහලට මාරු කර යවා ඇත. සැකකරු මෙතෙක් අත්අඩංගුවට ගෙන නැත.ආණමඩුව පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.