ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ නොමේරූ ළදරු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින දෙබිඩි දරුවන් වෙන් කිරීමේ සැත්කමින් වෙන් කළ දැරිය යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් බව ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය කපිලානි විතානාරච්චි මහත්මිය පවසනවා.
දැරිය ආශ්වාස ප්‍රාශ්වාස කරනු ලැබූ මැෂිම ඉවත්කොට නිදහසේ හුස්ම ගන්නා අතර දැරියට ඇගේ මව විසින් මව් කිරි ලබාදෙන බව ද ඇය සඳහන් කළා.
ලංකාවේ කළ තුන්වැනි දෙබිඩි දරුවන් වෙන්කිරීමේ සැත්කම මෙයයි.
අක්‌මීමන කුරුඳුවත්ත චීන මිත්‍රත්ව ගම්මානයේ පදිංචි ආශා දමයන්ති නමැති මව මෙම දෙබිඩි දරුවන් දෙදෙනා බිහි කළා.
ඒ මාර්තු මස 11 වැනි දින ගාල්ල මහමෝදර මාතෘ රෝහලේදී.
සිසේරියන් සැත්කමකට භාජන කිරීමෙන් පසු මෙලොව එළිය දුටු එම දෙබිඩි දරුවන් දෙදෙනා දියණියන් දෙදෙනෙක් වන අතර දෙදනාට තිලෝපි හා තිවංකි වශයෙන් නම් තැබුවා.
තිලෝපි අක්‌කා වූ අතර තිවංකි නැගණියයි.
ආශා හා ක්‍රිෂාන්ත යුවළට පුතුන් සිව් දෙනෙක් සිටින අතර සුනාමි ව්‍යසනයෙන් මෙම පවුලට ද හානි සිදුවුණා.
දෙබිඩි දරු දෙදෙනා බද්ධ වී සිටියේ පිට කොන්දෙනි.
මින් එක් දරුවකු සැත්කම කළද ජීවත් කිරීමට අපහසු බව වෛද්‍යවරු දැන සිටි අතර තිලෝපිගේ පණ නල රැඳී තිබුණේ තිවංකිගේ හෘදය වස්‌තුවේ පිහිටෙනි.