රුපියල් කෝටි දහතුනකට අධික මුදල් වංචාවකට සම්බන්ධ යෑයි සඳහන් කරමින් හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඇතුළු සිවු දෙනකුට එරෙහිව ජනතා විමුක්‌ති පෙරමුණ ඊයේ (06 ) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළා.
පසුගිය 2013 වසරේ අම්පාර දිස්‌ත්‍රික්‌කයේ පැවැති දැයට කිරුළ ප්‍රදර්ශනයේදී එම මුදල් වංචාව සිදුව ඇති බව කියමින් හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ, හිටපු අම්පාර දිස්‌ත්‍රික් ලේකම් නීල්ද අල්විස්, අම්පාර නගර සභාවේ සභාපති ඉන්දික නලීන් ජයවික්‍රම, හා එස්. ඒ දිනුෂ ප්‍රභාත් රංගජීව යන අයට එරෙහිව මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙනවා.
ජනතා විමුක්‌ති පෙරමුණේ අම්පාර දිස්‌ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත පියතිස්‌ස මෙම පැමිණිල්ල ඉදිරිපත් කළ අතර නීතිඥ සුනිල් වටගල මහතාද ඒ සඳහා එක් වුණා.
මෙම චෝදනා ගැන පූර්ණ පරීක්‍ෂණයක් කරන ලෙසත් වගඋත්තරකරුවන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ පරීක්‍ෂාකොට අල්ලස් හෝ දූෂණ විමර්ශන පනත යටතේ ගැනෙන වත්කම් පරික්‍ෂාවක් සිදුකරන ලෙසත් හා මෙම චෝදනා මත වගඋත්තරකරුවන්ව නිසි අධිකරණයකට යොමු කරන ලෙසත් පැමිණිලි පාර්ශ්වය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමෙන් ඉල්ලා සිටිනවා.