බංග්ලාදේශ හිටපු ක්‍රිකට් නායක සහ හිටපු අවාමි ලීග් පාර්ලිමේන්තු මන්ත්‍රී ෂකීබ් අල් හසන්ගේ නිවසට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මගුරා (Magura) ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසට මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ, හිටපු අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා සමග නවදිල්ලි නුවර පැවති මාධ්‍ය හමුවකට අන්තර්ජාලය ඔස්සේ සහභාගී වීමෙන් පැය කිහිපයකට පසුව බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
එම වාර්තා අනුව, ඊයේ (05) රාත්‍රී 8.45ට පමණ මගුරා නගරයේ කේෂබ්මෝර් ප්‍රදේශයේ පිහිටි ෂකීබ් අල් හසන්ගේ නිවසට මෙම ප්‍රහාරය එල්ල වී තිබෙනවා.
ප්‍රහාරයෙන් අනතුරුව නිවසට හානි සිදුව ඇති බව සඳහන්.
ෂෙයික් හසීනා සහභාගී වූ එම අන්තර්ජාල මාධ්‍ය හමුවෙන් පසුව මෙම සිදුවීම සිදුව ඇති බව සඳහන් කරමින් අවාමි ලීගය ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.
එම පක්ෂය සමාජ මාධ්‍ය ඔස්සේ සඳහන් කර ඇත්තේ, මෙය සැලසුම් කළ ප්‍රහාරයක් බවත්, ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමේ නාමයෙන් පක්ෂ ක්‍රියාකාරීන්ට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා මාලාවක තවත් සිදුවීමක් බවත්.
කෙසේ වෙතත්, ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින් හඳුනා ගැනීම සහ සිද්ධිය සම්බන්ධයෙන් නිල පරීක්ෂණ ක්‍රියාත්මක වන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරනවා.