හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කිසිදු මැයි රැළියකට සහභාගි නොවීමට තීරණය කොට ඇතැයි ඔහුට සමීප ආරංචි මාර්ග පවසනවා.
එමෙන් ම හිටපු ජනාධිපතිවරයාට සහය පළ කරමින් කුරුණෑගල පැවැත්වීමට නියමිත රැළියට ද සහභාගි වීමෙන් වැළකී සිටීමට ඔහු තීරණය කර තිබෙනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වනු ලබන මැයි රැලියට ද හිටපු ජනාධිපතිවරයා සහභාගි නොවනු ඇති බව පක්ෂ ආරංචි මාර්ග ප්‍රකාශ කළා.
ඒ සඳහා සහභාගි වීමට නිල ආරාධනා පත්‍රයක් ශ්‍රීලනිප මහලේකම් අනුර ප්‍රියදර්ශන යාපා පසුගියදා හිටපු ජනාධිපතිවරයා හමුවී භාර දුන්නා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බෙදීමට කටයුතු කරන්නේ ය යන චෝදනාව හමුවේ හිටපු ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන ඇතැයි වාර්තා වෙනවා.
හිටපු ජනාධිපතිවරයාට සහය දක්වන දේශපාලන කණ්ඩායම් කිරුළපන දී වෙනම මැයි රැළියක් පවත්වනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළා.