මෙයට අවුරුදු 20 කට පමණ පෙර බොරැල්ලේ ඒ. එස්. පී. සමූහ ව්‍යාපාරයේ හිමිකරු වූ ඒ. එස්. පී. ලියනගේ කෝට්‌ටේ ජයවර්ධන පුරයේ පිහිටි නිසංසල භූමියක රුපියල් කෝටි ගණනක් වැය කර විශාල මන්දිරයක් ඉදි කළා.
හෙට (20) මේ මන්දිරය ඉතිහාසයට එකතු වන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා එහි පදිංචියට පැමිණීමට නියමිත නිසායි.
සුප්‍රකට ගෘහ නිර්මාණ ශිල්පියකු වූ ජෙෆ්රි බාවා සහ ඔහුගේ කණ්‌ඩායමට රුපියල් ලක්‍ෂ ගණනාවක් ගෙවා අන්දවා ගත් සැලසුමකට අනුව ඒ. එස්. පී. ලියනගේ හෙවත් අනුර සොලමන් ප්‍රින්ස් ලියනගේ මේ මන්දිරය තැනුවේ සිය මව උදෙසා යි.
ඒ. එස්. පී. සමූහ ව්‍යාපාරයේ සභාපති ලියනගේ සිය මව වෙනුවෙන් මේ මන්දිරය ඉදිකළේ ඇයට කරන උපහාරයක් වශයෙනි.
"අපි සාමාන්‍ය පවුල්වලින් ආපු අය. අපව උස් මහත් කරලා සමාජයේ ඉහළ තලවලට ගෙනෙන්න අම්මා හුඟක් මහන්සි වුණා. ඒ නිසා මට උවමනා වුණා ඇගේ අවසාන කාලයේදී ඇය හැකි තරම් උසස් පහසුකම් සහිතව මහා මන්දිරයක පදිංචි කරන්නට. ඊට පස්‌සේ කෝට්‌ටේ දියවන්නා ඔය කිට්‌ටුවෙන් මම ඉඩමක් හෙව්වා. පර්චස් 160 ක් තිබෙන මේ ඉඩම මම මිලදී ගන්නා විටත් පලතුරු වත්තක්. දියවන්නාව ආශ්‍රයේ තිබුණ පරිසර පද්ධතියට අයත් කුරුලු වර්ග විශාල සංඛ්‍යාවක් මේ වත්තේ හිටියා. ඒ අයට කන්න පළතුරු ඕනෑ තරම් මේ වත්තේ එදත් තිබුණා, අදත් තිබෙනවා." ඒ. එස්. පී. ලියනගේ මේ මන්දිරයේ අතීතය මතක් කරන්නේ එලෙසයි.
මන්දිරය හැදීමෙන් පසු ලියනගේ එහි කුඩා සත්ව උද්‍යානයක් ද ආරම්භ කළා.
අලියෙක්, අශ්වයෙක්, සහ මොනරුන් රැසක් එහි සිටි අතර වැඩියෙන්ම සිටියේ මොනරුන් නිසා, මන්දිරයට පිකොක් හවුස් යන නම ලැබුණා.
"මේ මන්දිරය වර්ග අඩි 12,000 ක් විශාලයි. එහි යාබද නාන කාමර සහිත දැවැන්ත නිදන කාමර හයක් තිබෙනවා. සේවකයන්ගේ පදිංචිය සඳහා කාමර 5 ක් සහිත තට්‌ටු දෙකක ගොඩනැගිල්ලක් තිබෙනවා. මගේ මව අවුරුදු 83 ක් ආයුවළඳා මිය යනතුරු මේ මන්දිරයේ හිටියා. ඇය දෙවියන්ගේ තුරුලට ගියාට පස්‌සෙ මසකට රුපියල් ලක්‍ෂ 4 ක කුලියට මා මේ නිවස කෙනකුට දුන්නා. ඉන් පස්‌සේ ප්‍රභූවරුන් කිහිපදෙනෙකුම මේ මන්දිරයේ පදිංචිව සිටියා. ඒ අතර මම හිතුවා මේ මන්දිරය විකුණා දැමීමට. රුපියල් ලක්‍ෂ 6,000 කට හෙවත් මිලියන 600 කට මෙය මිලට ගන්නට කෙනෙක් ඉදිරිපත් වුණා. ඒත් අතරමැදියකු නිසා මම ඒ විකිණීම නවත්වා දැමුවා. ඊට පස්‌සේ මම මේ මන්දිරය ගැන අන්තර්ජාලයේ දැන්වීමක් දැමුවා. දිගටම ඉල්ලුම්කරුවන් එන්නට පටන් ගත්තා" ලියනගේ මහතා සඳහන් කළා.
මේ අතර දිනෙක හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මිරිහානේ පිහිටි නිවසක තාවකාලිකව නැවතී සිටින බව ලියනගේට ආරංචි වුණා.