ශ්‍රී ලංකාව තුළ සිදුවන අපරාධ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා මදුරුවන් යොදා ගැනීමට සැළසුම් කර තිබෙනවා.
ජින්ටෙක් ආයතනය හා එහි ප්‍රධාන වෝහාරික විද්‍යාඥ ආචාර්ය රුවන් ඉලේපෙරුම මේ සම්බන්ධයෙන් කරන ලද පරීක්‍ෂණය සාර්ථක වී ඇති අතර ඒ අනුව මදුරුවන් යොදාගෙන අපරාධකරු සොයා ගැනීම සඳහා ඩී.එන්.ඒ.සාක්‍ෂි යොදා ගැනීමට හැකි වෙනවා.
මෙවැනි පරීක්‍ෂණයක් කළ විට විද්‍යාත්මක අනුමැතිය ලැබෙන්නේ එය විද්‍යාත්මක සඟරාවක පළ කිරීමෙන් පසුව වන නිසා පරීක්‍ෂණයේ වාර්තාව ඉදිරියේ දී ප්‍රසිද්ධ කිරීමට නියමිතයි.
විවිධ කාල පරාසවලදී මදුරුවන් තුළ තිබූ රුධිරය එකතු කර ඩී.එන්.ඒ.නිස්සාරණය කළ විට පැය 24ක් යන තෙක් මදුරුවන් තුළ හොඳින් මනුෂ්‍ය ඩී.එන්.ඒ. සුරක්‍ෂිත වන බවත්, ඒවා අපරාධ පරීක්‍ෂණයට යොදාගත හැකි බවත් මේ වන විට සොයා ගෙන තිබෙනවා.