අන්ත දුප්පත්කම නිසාම ඉම්රාන්ට අඳින්න පළඳින්න හරි හමන් ඇඳුමක් තිබුණේ නැත.
ඉම්රාන් හිස පැළඳ සිටියේ ඔහුගේ හිසේ ප්‍රමාණයට වඩා විශාල වූ හිස්වැසුමකි. එය බැලූ බැල්මට කැඳ කෝප්පයක් හිසේ තබාගෙන සිටිනවා බඳු විය.
මාලිගාවත්තේ ඉම්රාන් පසු කලෙක කංජිපානි ඉම්රාන් නමැති පාතාල අපරාධ කාරයකු වනු ඇතැයි කිසිවකුත් සිතුවේ නැත.
පාසල් අධ්‍යාපනය අතරමග නතර කළ කංජිපානි ඉම්රාන් පුංචි පුංචි වෙළෙඳ ව්‍යාපාර කරන්නට පටන් ගත්තේ දහසකුත් එකක් ආර්ථික ප්‍රශ්නවලට විසඳුම් සොයන්නයි. පංචිකාවත්තේ වෙළෙඳසල්වල ඔහු සේවය කළේය. තවත් වරෙක කැඳ වික්කේය.
මේ කාලවකවානුව වන විට මාලිගාවත්ත මුස්ලිම් රාජධානියක් බවට පත්ව තිබුණේය. ඒ පාතාල රාජධානියේ නායකයාව සිටියේ ෆාජි නැමැති පාතාල මැරයාය. මාමාස්මි, මංජල් අක්‍රම්, බයියා වැනි පාතාල මැරයන්ගෙන් සැදුම්ලත් ෆාජිගේ පාතාල කල්ලිය කොළඹ නගරය හොල්ලාගෙන විවිධ අපරාධ කරමින් සිටියහ. ෆාජිගේ අනුදැනුමකින් තොරව මාලිගාවත්ත පාතාල පුරයට ඉහළින් කපුටෙකුටවත් පියාසර කළ නොහැකි විය. ඒ තරමට පාතාල බලයක් මාලිගාවත්ත ප්‍රදේශය පුරා පතුරුවා හැරීමට ෆාජි ප්‍රමුඛ පාතාල කල්ලිය සමත්ව සිටියහ.
කංජිපානි ඉම්රාන් මාලිගාවත්ත හන්දියේ කුකුළු මස් කඩයක් පටන් ගන්නේ ඒ ව්‍යාපාරය හරහා හෝ පොහොසතකු වීමේ අරමුණු ඇතිවය. මංජල් අක්‍රම් නමැති පාතාල මැරයා ෆාජිගේ පාතාල කල්ලියේ ප්‍රධාන පෙළේ කෙරුම්කාරයකු විය. මංජල් අක්‍රම් කංජිපානි ඉම්රාන්ගේ කුකුළු මස් කඩයට නිතර ආවේය.
කාලයක සිට මොවුන් දෙදෙනා අතර පැවතියේ සමීප මිතුදමකි. මංජල් අක්‍රම් ඒ වන විට දැඩි ලෙස හෙරොයින් භාවිතයට ඇබ්බැහි වී සිටියේය.
හෙරොයින් පානය කිරීම මෙන්ම හෙරොයින් අලෙවි කිරීම ද මංජල් අක්‍රම්ගේ ප්‍රධාන ආදායම් මාර්ගයක් බවට පත්ව තිබුණේය.
මංජල් අක්‍රම් සමග මත්පැන් පානය කිරීමට පුරුදු වී සිටි කංජිපානි ඉම්රාන් පසු කලෙක හෙරොයින් පානයට ඇබ්බැහි වුණේය. කුකුළු මස් කඩයෙන් උපයන ලාභය හෙරොයින් පානයට වැය කළ කංජිපානි ඉම්රාන් දිනෙන් දිනම අගාධයටම වැටෙන්න පටන් ගත්තේය.
"මංජල් අයියා මේ වැඬේ හරියන් නෑනේ. හම්බකරන හැම සතයක්මත් වියදම් වෙනවා, අලූත් දෙයක් කරන්න ඕනෙ අතට වැඩිපුර ගාණක් ලැබෙන..."
කංජිපානි ඉම්රාන් තම සමීපතම මිතුරකු වූ මංඡුල් අක්‍රම්ට කීවේය. ඒ වන විට මංජල් අක්‍රම් අලෙවි කරමින් සිටියේ සිද්යක් නමැතිි මහා පරිමාණ හෙරොයින් ජාවාරම්කරු බෙදා හරින හෙරොයින්ය.
"හරි හරි උඹ කිසිදේකට බය වෙන්න එපා. මම උඹව හොඳ බිස්නස් එකකට සෙට් කර ගන්නම්. සිද්ධික් ළග බඩු තියනවා මම උඹට සිද්ධික්ව සෙට් කරන්නම්, වැඩි දවසක් යන්න ඉස්සර උඹට හොඳ සල්ලිකාරයෙක් වෙන්න පුළුවන්...."
මංජල් අක්‍රම් තම මිතුරා වූ කංජිපානි ඉම්රාන් ප්‍රධාන පෙළේ හෙරොයින් ජාවාරම් කරුවකු වූ මොහොමඩ් සිද්ධික්ට හඳුන්වා දුන්නේය. එතැන් පටන් කංජිපානි ඉම්රාන් හෙරොයින් ජාවාරමට සම්බන්ධ වුණේය. වැඩි දවසක් යන්නට පෙර කංජිපානි ඉම්රාන් සෑහෙන පොහොසතකු බවට පත් වුණේය.
මේ අතර මංජල් අක්‍රම්, කංජිපානි ඉම්රාන් මාලිගාවත්ත පාතාලයේ නායකයා වු ෆාජිට ද හඳුන්වා දුන්නේය. මාලිගාවත්ත පාතාලයේ කෙරුම්කාරයන් වූ මංජම් බයියා වැන්නවුන් සමග ද ඉම්රාන් මිත්‍රත්වයක් ගොඩනඟාගන්නේ පාතාලයට පෙම්බඳිමින්ය.
මාලිගාවත්තේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයකු වූ මොහොමඩ් රිස්කාන්, කංජිපානි ඉම්රාන්ට දැන හඳුනාගන්නට ලැබුණේ මංජල් අක්‍රම් මාර්ගයෙන්ය. (ඩ්‍රොප් මී නමැති කුලී රථ ආයතනයේ හිමිකරුවා වූ රිස්කාන් මීට වසරකට පමණ උඩදී කොටහේනේදී ඝාතනයට ලක්වුණේය.
රිස්කාන්ද මාලිගාවත්ත පාතාලය සමඟ සමීප සබඳතා ගොඩනගාගෙන සිටියේය. එහෙත් ඔහු අපරාධ කිරීමට හෝ ඒවාට අනුබල දීමට ඉදිරිපත් වුණේ නැත.
සෑහෙන වත්පොහොසත්කම් ඇති පුද්ගලයකු බවට පත්වීමෙන් පසු කංජිපානි ඉම්රාන් වැලිසර ප්‍රදේශයෙන් නිවසක්ද මිලට ගත්තේය. මුස්ලිම් තරුණියක හා විවාහ වූ ඉම්රාන් වැලිසර නිවසේ පදිංචි වුණේය. ඒ වන විට මංජල් අක්‍රම් මුස්ලිම් කාන්තාවන් සිව් දෙනෙකු සමග විවාහව සිටියේය. ඒ කාන්තාවන් සහ ඔවුන්ට අයත් දරුවන් සියල්ල නඩත්තු කළේ මංජල් අක්‍රම්ය.
කංජිපානි ඉම්රාන්ගේ ජීවිතයේ අමතකම නොවන සිදුවීම වන්නේ ඒ අතරතුරදීය. තම කල්‍යාණ මිතුරු බඳු වූ මංජල් අක්‍රම් බණ්ඩාරවෙල නාඳුනන සන්නද්ධ කණ්ඩායමක් විසින් පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියෙන් ඉම්රාන් දැඩි ලෙස කම්පනයට පත් වුණේය.
තම දියුණුවේ හෙවණැල්ලක් මෙන් පිටුපස සිටි මංජල් අක්‍රම් අහිමි වීම ඉම්රාන්ට දරාගත නොහැකි සිදුවීමක් බවට පත් විය. මංජල් අක්‍රම් අතුරුදන්වීමෙන් පසු ඔහු අලෙවි කළ හෙරොයින් කොටස්ද ඉම්රාන් වෙත ලැබුණේය. ඉම්රාන් හෙරොයින් ජාවාරම ජයටම කරගෙන ගියේය.
මංජල් අක්‍රම් අතුරුදන්වීමෙන් පසු මාලිගාවත්ත පාතාලය කංජිපානි ඉම්රාන් වෙත දැක් වූ හිතවත්කමද කෙමෙන් කෙමෙන් දියාරුවන්නට පටන් ගත්තේය. එය ඉම්රාන්ගේ ව්‍යාපාරවලටද දැඩි බලපෑමක් එල්ල කිරීමට සමත් විය.
ඒ වන විට කංජිපානි ඉම්රාන්ද කිසියම් පාතාල බලයක් මාලිගාවත්ත පුරා ගොඩනගාගෙන සිටියේය. කොළඹ ව්‍යාපාරිකයන්ට තර්ජනය කර කප්පම් ගැනීම හෙරොයින් ජාවාරමට අමතරව ගංජා තොගපිටින් අලෙවි කිරීම හරහා ඉම්රාන් විශාල මුදලක් උපයා ගත්තේය.
මාලිගාවත්ත පාතාලයේ කෙරුම්කාරයකු වූ බයියා, කංජිපානි ඉම්රාන්ට නිතර නිතර කෙනෙහිලිකම් කරන්නට පටන් ගත්තේ මංජල් අක්‍රම්ගේ අතුරුදන්වීමෙන් පසුවය.
"උඹ දැන් ලොකු සල්ලිකාරයෙක්නෙ ඔය හම්බකරන සල්ලිවලින් කොටසක් අපිටත් දීපං.... මොකද උඹ අද මෙතන ඉන්නෙ මංජල් අක්‍රම් නිසා. අපේ අන්ඩර්වල්ඩ් ටීම් එක නිසා. ඒ හින්ද අපිට සල්ලි හදිස්සියක් වුණාම උඹ ඒ ගැන බලන්න ඕනෙ...." කංජිපානි ඉම්රාන්ට බයියාගෙන් ගැලවීමක් ලැබුණේ නැත. නිතර නිතරම බයියා ඉම්රාන්ගෙන් රුපියල් ලක්‍ෂ ගණනින් මුදල් ලබා ගත්තේය.
මේ අතර ඉම්රාන් ගංජා කිලෝ ග්‍රෑම් 5 ක්ද සමග. මාලිගාවත්ත පොලිසියට කොටු වුණේය. ඒ වන විට ඉම්රාන්ට එරෙහිව කප්පම් ගැනීමේ සිද්ධීන් රැසක් සම්බන්ධයෙන් වූ පැමිණිලි ද කොළඹ අපරාධ කොට්ඨාසය විමර්ශනය කරමින් සිටියේය.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය ද ඒ වන විට කංජිපානි ඉම්රාන් ලූහුබඳිමින් සිටියේ මහා පරිමාණ හෙරොයින් ජාවාරම් සම්බන්ධයෙන් කොටු කර ගැනීමටය.
වර්තමානයේ මෙරට පාතාලයේ ගෝර්ඞ්ෆාදර් ලෙස හඳුන්වන මාකඳුරේ මධුෂ්, කංජිපානි ඉම්රාන්ට හමුවන්නේ මීගමුව බන්ධනාගාරයේදීය. ඒ වන විට මධුෂ් මංකොල්ලකරුවකු මෙන්ම දකුණේ පාතාල කල්ලියක එක්තරා සාමාජිකයකු පමණක් විය.
ලීසිං ආයතන කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් මාකඳුරේ මධුෂ් මීගමුව බන්ධනාගාරයේ රඳවා සිටියේය. හෙරොයින් ජාවාරම් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් වූ කංජිපානි ඉම්රාන්ද එම වකවානුවේම මීගමුව බන්ධනාගාරයට ඇතුළත් කර සිටියේය.
කොළඹ පාතාලයේ කෙරුම්කාරයකු වූ කංජිපානි ඉම්රාන් දැන හඳුනා ගැනීමට හැකි වීම මාකඳුරේ මධුෂ්ට දැඩි සතුට ගෙනදුන් කරුණක් විය.
"ඉම්රාන් උඹව අඳුනගන්න ලැබීම මට ලොකු සතුටක්. අපි එකතු වෙලා හොඳ වැඩ ටිකක් කරමු. දකුණු පළාතේ වැඩ ටික මට බලාගන්න පුළුවන්. අපි එකට එකතු වුණොත් මේ රටම හොල්ලන්න පුළුවන්...."
මධුෂ් අලූත හමු වූ මිතුරු කංජිපානි ඉම්රාන්ට කීවේය. මීගමුව බන්ධනාගාරයෙන් මුලින්ම පිටවුණේ කංජිපානි ඉම්රාන්ය. ඊට ටික කලකට පසු මධුෂ්ද ඇප ලබා ගෙන බන්ධනාගාරයෙන් පිටතට ආවේය.
"උඹ ගමේ යන්න ඉස්සර මාලිගාවත්තට ඇවිත් ටික දවසක් ඉඳලා පලයං උඹට තව හොඳ යාළුවෝ සෙට් එකක් අඳුන්නලා දෙන්න තියනවා..."
කංජිපානි ඉම්රාන්ගේ ඉල්ලීම මත මාකඳුරේ මධුෂ් මාලිගාවත්ත පාතාල රාජධානියේ දින හත අටක් ගත කළේය. පසු කලෙක මධුෂ්ගේ කල්‍යාණ මිතුරා මෙන්ම සොහොයුරකු ලෙස සැලකූ මොහොමඩ් රිස්කාන් දැන හඳුනාගන්නට ලැබෙන්නේ ද මාලිගාවත්තේ නවාතැන් ගෙන සිටි ඒ දින කීපය තුළදීය.
මධුෂ්ට රිස්කාන් හඳුන්වා දෙන්නේද කංජිපානි ඉම්රාන් විසින්ය. මේ කාලය වන විට මාලිගාවත්ත පාතාලයේ අපරාධකරුවන් මෙන්ම ප්‍රධාන පෙළේ හෙරොයින් ජාවාරම්කරුවන් ඩුබායි රාජ්‍යය සමග සබඳතා පවත්වාගෙන ගියහ. ඩුබායිහි සිටින හෙරොයින් ජාවාරම්කරුවන් සමඟ සමීප සම්බන්ධතා ගොඩනගාගෙන සිටි මේ අපරාධකරුවන් නිතර නිතරම ඩුබායි රාජ්‍යයේ සංචාරය කළේය.
කංජිපානි ඉම්රාන්ද නිතර ඩුබායි රාජ්‍යය වෙත ආගිය පුද්ගලයෙකි. ඒ වන විට ඉම්රාන් ඩුබායි දේශයේ සිටින හෙරොයින් ජාවාරම්කරුවන්ගෙන් හෙරොයින් තොග පිටින් ලබාගෙන ඒවා අලෙවි කිරීමේ ව්‍යාපාරයට අත ගසා සිටියේය.
ප්‍රතිවිරුද්ධ පාතාල කල්ලිවලින් සහ ආරක්‍ෂක අංශවලින් දිගින් දිගටම තර්ජන එල්ලවෙද්දී කංජිපානි ඉම්රාන් ඩුබායි රාජ්‍යය වෙත යන්නට තීරණය කළේය.
"එන්න එන්නම තත්ත්වය හොඳ නැති වෙනවා. ලංකාවේ හිටියොත් එක්කො මැරෙන්න වෙන්නෙ. එහෙමත් නැත්නම් ජීවිත කාලෙම හිරේ ලගින්න වෙනවා. ඒ නිසා මම ඩුබායිවලට පනිනවා එහෙ ඉඳලා මෙහෙ බිස්නස් ටික හැන්ඩ්ල් කරනවා...."
කංජිපානි ඉම්රාන් ඒ වන විට තම කල්‍යාණ මිතුරු බඳු වූ මධුෂ්ට කීවේය. ඉම්රාන් හොර රහසේම ඩුබායි රාජ්‍යයට පලායන්නේ තර්ජනයක් ඇති වුවොත් මධුෂ්ද එහි ගෙන්වා ගන්නා පොරොන්දුව මතය.
කංජිපානිි ඉම්රාන් ඩුබායි රාජ්‍යයේ නවාතැන් ගනිමින් හෙරොයින් ජාවාරම ජයටම කරගෙන යන්නට පටන් ගත්තේය. මාකඳුරේ මධුෂ්ට ද අවශ්‍ය වුණේ තම මිත්‍රයා වෙත ගොස් එහි සිට හෙරොයින් ජාවාරමේ නිරතවීම සහ මෙරට පාතාලය මෙහෙය වීමටය.
මධුෂ්ගේ ඉල්ලීම මත කංජිපානි ඉම්රාන් ඔහු ඩුබායි රාජ්‍යය වෙත ගෙන්වා ගත්තේය. එතැන් පටන් මෙරට පාතාලය මෙහෙයවමින් හෙරොයින් ජාවාරම ජයටම කරගෙන යන්නට මධුෂ්ට සහ කංජිපානි ඉම්රාන්ට හැකි විය.
මධුෂ්ගේ කල්‍යාණ මිත්‍රයකු වූ රිස්කාන් ඩ්‍රොප් මී නමින් කුලී මෝටර් රථ සේවයක් ආරම්භ කළේය. ඒ ව්‍යාපාරය ආරම්භ කිරීම සඳහා මධුෂ් තම මිතුරකු සමග හවුල් වී ඔහුට රුපියල් කෝටි ගණනක් ලබා දුන්නේය.
රණාලේ සමයා ඇතුළු පිරිසක් කළුතරදී බන්ධනාගාර බස්රථයක් තුළ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය ඩුබායි සිට මෙහෙය වූයේ මාකඳුරේ මධුෂ් විසින්ය.
තම කල්ලියේ නායකයා ඝාතනය කිරීමේ සිද්ධියට එකට එක කිරීමක් ලෙස මධුෂ්ගේ සමීපතමයන් ඝාතනය කිරීමට කඩුවෙල පාතාල කල්ලිය සැළසුම් කළහ. මොහොමඩ් රිස්කාන් මධුෂ්ගේ සමීපතම මිතුරකු බව ඔවුහු සොයා ගත්හ. රිස්කාන් ඝාතනය කර මධුෂ්ගෙන් පලිගැනීමට සැලසුම් කළ කඩුවෙල පාතාලය එම මෙහෙයුම ක්‍රියාත්මක කළහ. කොටහේන ප්‍රදේශයේදී රිස්කාන්ට වෙඩි තබා ඝාතනය කළ කඩුවෙල පාතාලයේ සාමාජිකයන් දෙදෙනෙකු පලායෑමට උත්සාහ කළේය. එහෙත් කොටහේනේ ප්‍රදේශවාසීන්ගෙන් ඔවුන්ට ගැලවීමක් ලැබුණේ නැත.
එක් පාතාල සාමාජිකයකු ප්‍රදේශවාසීන්ගෙන් පහර කෑමෙන් අවසන් ගමන් ගියේය. අනෙකා පලාගියද පසුව ඔහු පොලිස් අත්අඩංගුවට පත් වුණේය.
රිස්කාන් ඝාතනය කිරීම මධුෂ්ගේ ජීවිතයට එල්ල වූ මරු පහරක් බඳු විය. රිස්කාන් ඝාතනයට ගෑවුණු සෑම පුද්ගලයාම මරා දමන බවට මධුෂ් දිව්රා පොරොන්දු වුණේය. රිස්කාන් කංජිපානි ඉම්රාන්ගේද සම්බන්ධ මිතුරකු වූ නිසා මේ වෛරය පිරිමසාලීමට ඔහු ද එක් වුණේය.
රිස්කාන් ඝාතනය සඳහා පැමිණි පාතාල සාමාජිකයන්ට යතුරු පැදිය ලබා දුන් කොස්මල්ලී පිළිබඳ තොරතුරු මධුෂ් විසින් සොයා ගත්තේය. කොස්මල්ලී පැහැරගෙන ගොස් අගුණකොලපැලැස්සේදී ඔහු ඝාතනය කර හිස කොටස කොළඹට ගෙන ඒමට තම පාතාල කල්ලියට නියෝග ලබා දුන්නේ මධුෂ් විසින්ය.
කොස්මල්ලීගේ හිස කොටස කොළඹට ගෙන ආ පසු එය භාරගත්තේ කංජිපානි ඉම්රාන්ගේ සගයන් විසින්ය. කොස්මල්ලීගේ හිස අලූත්කඬේ අධිකරණය ආසන්නයට ගෙනගොස් දැමීමට තම ගෝලබාලයින්ට නියෝග ලබාදුන්නේ කංජිපානි ඉම්රාන් විසින්ය.
තම කල්‍යාණ මිතුරු වූ රිස්කාන් ඝාතනය කළ පුද්ගලයන් එකා දෙන්නාත් පරලොව යැවූ මාකඳුරේ මධුෂ් සහ කංජිපානි ඉම්රාන් තම වෛරය පිරිමහගත්තේ ඒ ආකාරයටය.
ඩුබායි සිට මෙරට පාතාලය පාලනය කිරීමට මධුෂ්ට ගුරුහරුකම් ලබා දුන්නේ කංජිපානි ඉම්රාන්ය. මධුෂ්ගේ හෙරොයින් ජාවාරමේ ප්‍රධානම හවුල්කරුවා වුණේද කංජිපානි ඉම්රාන්ය.
ඩුබායි රාජ්‍යයේ සුරසැප විඳිමින් කංජිපානි ඉම්රාන් මෙරට සිදු කළ අපරාධ බොහොමයකි. පසුගිය කාලයේ කොළඹ නගරය තුළ සිදු වූ මිනිස් ඝාතන 07 කට නියෝග ලබා දී තිබුණේ කංජිපානි ඉම්රාන්ය.
ජම්පටා වීදියේ එකදිගට සිදු වූ මිනීමැරුම් බොහොමයකට නියෝග ලබාදී තිබුණේද මේ පාතාල මැරයා විසින්ය.
කොළඹ නගරය පමණක් නොව මුළු රට පුරාම පාතාල නීතිය පතුරුවාගෙන ඩුබායි රාජ්‍යයට වී සුර සැප විඳීමට කංජිපානි ඉම්රාන්. මාකඳුරේ මධුෂ්ටවත් ඉඩ ලැබුණේ නැත. මේ වන විට මේ ඝාතකයන් දෙදෙනාම සිටින්නේ පොලිස් අත්අඩංගුවේය. කංජිපානි ඉම්රාන් කොළඹ අපරාධ කොට්ඨාසය භාරයේ සිටින අතර ඔහු කාලයක් තිස්සේ සිදු කළ අපරාධවල තොරතුරු වමාරමින් සිටියි. කංජිපානි ඉම්රාන් හා මාකඳුරේ මධුෂ් අත්අඩංගුවට පත්වීමත් සමගම පසුගිය කාලයේ එකදිගට රටේ සිදු වූ පාතාල මිනීමැරුම් අපරාධ ශීඝ්‍රයෙන් පහළ බැස ඇත්තේය. ඉන් පැහැදිලි වන්නේ පසුගිය කාලයේ සිදු වූ පාතාල අපරාධ සියල්ලම පාහේ සිදු වුණේ මේ අපරාධකාරයන්ගේ මැදිහත්වීම සහ අනුදැනුම මත බවය. මේ මැරයන්ට නිසි දඬුවම් ලබාදී ජනතාවට නිදහසේ ජීවත්වීමට ඉඩ කඩ සලසා දීම රජයේ වගකීම වන්නේය.
දිවයින