පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ ගුරුවරියක වූ මනෝරි අසන්තිකා පසුගිය ජූනි 22 වැනිදා පාසල් යාමට සූදානම් වෙමින් සිටි නමුත් සිය සැමියා වන මහින්දත් සමඟ සුපුරුදු පරිදි ඇතිවූ ආරවුලක් හේතුවෙන් ඇය අඳිමින් සිටි සාරිය ගලවා දමා සායකින් සහ හැට්ටයකින් සැරසී දුරකථනය පමණක් රැගෙන නිවසින් පිටත්ව ගොස් තිබුණි.
මෙසේ සැමියා සමඟ නිරත ඇතිවන ආරවුල් අතර නිවසින් පිටව ගොස් කේන්තිය සන්සිඳුන පසු පැයකට දෙකකට පසු නැවත නිවසට පැමිණීම අසන්තිකා පුරුද්දක් කර ගෙන තිබුණි.
එදින ඔවුන්ගේ දියණියගේ බර කිරන දිනයයි. ඒ අනුව මහින්ද මෝටර් රථයට දියණිය නංවාගෙන නිවසේ මෙහෙකාරිය සිටි නිවසට ගොස් ඇය ද කැටුව බර කිරන ස්ථානයට ගොස් මෙහෙකාරය ඇගේ නිවසට ඇරලවා නැවත දියණිය සමඟ නිවසට පැමිණ තිබේ.
එහෙත් වෙනත් දිනවල පැයකින් දෙකකින් නිවසට එන අසන්තිකා එදින එසේ පැමිණ තිබුණේ නැත.
මහින්ද හදිසියේම මෝටර් රථයෙන් මාතලේ බලා පිටත් වන්නේ අසන්තිකාගේ මිතුරියක මාතලේ සිටි බැවින් ඇගේ නිවසට යන්න ඇති දැයි සිතාගෙනය.
එහෙත් මොරගහකන්දට ආසන්න මාර්ගයේ වන අලියෙකු සිටින බව දැක නැවත මෝටර් රථය හරවාගෙන මහින්ද නිවසට එන්නේ වන අලියා දැක බියට පත්වූ නිසාය.
පසුව අසන්තිකාගේ ක්‍රියා කලාපය ගැන මහින්ද පොලිසියට තොරතුරු ලබා දීමට ද කටයුතු කර තිබූ අතර පොලිසියේ අදහස වී ඇත්තේ ඇය කිසිවෙකු සමඟ හෝ පැන යන්නට ඇති බවයි.
ඇගේ මවට ද මහින්ද මේ පිළිබඳව දැන්වීමෙන් පසු මව ද පොළොන්නරුවට පැමිණ දියණිය සෙවීමට වෙහෙස වී තිබේ.
මෙසේ මනෝරි අතුරුදන්වී මාසයක පමණ කාලයක් ගතවුව ද ඇය පිළිබඳකිසිදු තොරතුරක් දැනගන්නට නොලැබුණි. මහින්දද ඇය සෙවීමට දැඩි වෙහෙසක් ගන්නා බව දක්නට ලැබුණි.
පසුව මහින්දගේ දුරකථන දත්ත වාර්තාවක් ලබා ගැනීමට පොලිසිය කටයුතු කර තිබූ එහිදී අසන්තිකා අතුරුදන් වූ දින සවස 6 පසුවූ පසු මහින්ද මොරගහකන්ද ප්‍රදේශයේ සැරිසරන බව හෙළිවී තිබුණි.
එහෙත් ඒ සම්බන්ධයෙන් පොලිසිය මහින්දගෙන් කළ ඇතැම් ප්‍රශ්න කිරීම්වලට ඔහු නිරුත්තර විය.
මේ අතර පසුගිය 17 වන දා මහින්දගේ වැඩිමහල් සහෝදරිය පොලිසියට පැමිණිල්ලක් කරමින් පවසා තිබුණේ අසන්තිකා මහින්ද අතින් මියගිය බවයි.
ඒ අනුව මහින්ද අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී ඔහු පවසන්නේ අසන්තිකා සමඟ ඇතිවූ ආරවුලක් දුරදිග ගොස් ඇය ඝාතනය කර මෝටර් රථයේ දමාගෙන ගොස් මොරගහකන්ද ජලාශයේ නැරඹුම් මැදිරියෙන් පහළට දැමූ බවයි.
පසුව පොලිස් නිලධාරින් එහි ගොස් කළ සොයා බැලීම්වලදී අසන්තිකාගේ මළසිරුර සොයා ගැනීමට හැකිවිය.
සිද්ධිය පිළිබඳ මහින්ද පවසා තිබුණේ මෙලෙසිනි.
“එයා දරුවොන්ට කැමති නෑ. දරුවෝ ලැබෙන්න ආවම හොරෙන් නැති කර ගෙන තිබුණා. දැන් ඉන්න දරුවත් මම එපා කියලා තමයි හදාගත්තේ. වෙනත් පිරිමි ළඟින් ආශ්‍රය කළා. රණ්ඩු ඇති වුණා. එහෙම රණ්ඩු වුණාම එයා තරහාවෙලා ගෙදරින් යනවා..“
“සිද්ධිය වෙච්ච දවසේ උදේ අසන්තිකා දරුවට කඩලා කව කවා හිටියා. ඒත් දරුවා ඒවා කෑවේ නැතුව කටින් එළියට දම දමා හිටියා. බලද්දී ඒවා හරියට තැම්බිලා නෑ. ඒ අතරේ මම ලෑස්ති වුණා දරුවට කඩේ ගිහින් මොනවා හරි ගෙනත් දෙන්න. ඒත් එහෙම එපා කියලා අසන්තිකා මාත් එක්ක රණ්ඩු වුණා. මං දරුවව දකුණු අතින් වඩාගෙන අසන්තිකාගේ බෙල්ල අල්ලලා කරකවලා බිත්තියට තද කර ගෙන හිටියා. පොඩි වෙලාවකින් එයා බිත්තිය දිගේ ලිස්සලා වැටුණා. මං වතුර ඉස්සත් එයා අවදි වුණේ නැහැ. ඊට පස්සේ මං එයාව අරගෙන ගිහින් කාමරේට දාලා දොර වැහුවා.“
“එදා දරුවාගෙ බර කිරන්න තිබුණ නිසා දරුවා අරන් ඒකට ගිහින් ආවා. පස්සේ හවස පහට විතර කාර් එක රිවස් කරලා අසන්තිකාගේ මිනිය අරන් ෂීට් එක පල්ලෙහට දාගෙන ටික වෙලාවක් ඉඳලා අරන් ගිහින් එයාගේ මිනිය දාලා ආවා..“
මෙසේ මනොරි අසන්තිකාගේ මරණය පිළිබඳ සියලු තොරතුරු දැන් හෙළිදරව් වී තිබේ. ඒ අනුව නුදුරේදීම ඝාතකයාගේ ඉරණම විසඳෙනු ඇත.
තක්ෂිලා ජයසේකර