පසුගිය 10 වන දා කොට්ටාව ප්‍රදේශයේ නිවසක් තුළදී වයෝවෘධ කාන්තාවක් ඝාතනයට ලක්වී තිබුණි.
එසේ ඝාතනය වී තිබුණේ ශ්‍රියානි කොඩිකාර නම් වූ 55 හැවිරිදි කාන්තාවකි.
ඇය පිළිබඳ පොලිසියට සැලවුණේ සුවිසල් නිවසක උඩු මහලේ පිහිටි සාලය මැද ලේ විලක වැටී සිටියදීයි. ඇගේ දියණිය වූ රුචිරා ද කැපුම් තුවාල ලබා සිටි අයුරු එම නිවසට ගිය පොලිසියට දක්නට ලැබුණු අතර කිසිදු අනතුරක් සිදු නොවුණු රුචිරාගේ කුඩා දරුවාද ඒ අසළම හිඳ තිබෙනවා. බරපතළ තුවාල ලබා සිටි රුචිරාගේ මව රෝහල් ගත කළ නමුත් ඇය මරණයට පත්වී තිබුණි.
පසුව පොලිසිය මේ සම්බන්ධයෙන් කරුණු විමර්ශනය කරන්නට වූ අතර එහිදී ඝාතකයා පිළිබඳ සියලු කරුණු හෙළිදරව් විය. රුචිරා පොලිසිය හමුවේ පවසා තිබුණේ මෙම ඝාතනය සිදුකළේ ඇය සමඟ ඉතා සමීප සම්බන්ධයක් පැවැත්වූ මනෝ විද්‍යා කථිකාචාර්යවරයෙක් ලෙස කටයුතු කළ පුද්ගලයෙක් බවයි.
රුචිරා පූගොඩ ප්‍රදේශයේ තම මව සමඟ පදිංචි වී සීටි අතර රුචිරා අඩු වයසෙන්ම විවාහ වී තිබුණේ පූගොඩ ප්‍රදේශයේම තරුණයෙක් සමඟයි. ඔහු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවෙකු වූ අතර ඒ නිසාම ඔවුන්ගේ විවාහය වැඩිකල් පැවතුණේ ද නැති නමුත් ඔහුගෙන් රුචිරාට දරුවෙක් ලැබුණි. රුචිරා ගීත වීඩියෝවල නර්තන ශිල්පිනියක් ලෙස ද කටයුතු කර තිබූ අතර ඇය ගත කර තිබුණේ කෙලිලොල් දිවියකි.
ඒ අතර මීට මාස 6 කට පමණ පෙරදී සමාජ මාධ්‍යයක් තුළින් රුචිරාට ද්‍රවිඩ ජාතික මනෝ විද්‍යා කථිකාචාර්යවරයා මුණගැසී තිබේ. ඔවුන්ගේ සබඳතාව දුරදිග ගොස් ඔහු රුචිරාට යෝජනා කර ඇත්තේ කොළඹ අවටින් නිවසක් රැගෙන අම්මා දරුවා සමඟ ඔවුන් දෙදෙනාට ද සතුටින් ජීවත් විය හැකි බවයි. රුචිරා ඊට අකමැත්තක් නොදැක්වූ නිසා රුපියල් 37,000 ක මාසික කුලී පදනම මත කොට්ටාව ප්‍රදේශයෙන් නිවසක් මිලදී ගෙන ඔවුන් මීට මාස 3ක පමණ ඉහතදී එහි පදිංචි වී තිබේ. ඒ අතර නිවාඩු ලද සැනින් තම මව්පියන් බැලීමට වව්නියාවට යෑමට ද ඔහු අමතර කර තිබුණේ නැත.
වරක් එසේ ගිය අවස්ථාවකදී ඔහුගේ දුරකථනය අක්‍රීය වීම ගැන රුචිරාට සැකයක් උපන්නේ ප්‍රශ්න රැසක ආරම්භය සනිටුහන් කරමිනි. දුරකථනය අක්‍රීය වීමේ හේතුව ඉතා සූක්ෂමව විපරම් කළ රුචිරාට අදහා ගැනීමට නොහැකි කරුණක් දැනගැනීමට හැකිවූ අතර එහිදී හෙළිවී තිබුණේ තම පෙම්වතා විවාහකයෙකු වන බවයි. මේ හේතුවෙන් ඔහු සමඟ නිතර නිතර රණ්ඩු ඇති වීමට ද පටන්ගෙන තිබේ.
සිය මවට ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවූ සිද්ධිය පිළිබඳ රුචිරා පොලිසිය හමුවේ ප්‍රකාශ කර තිබුණේ මෙලෙසිනි.
“එයාගෙ වැඩේම ආපු වෙලාවේ ඉඳන් මනෝවිද්‍යා පොත් කියවන එක. සිද්ධිය වුණ දවසෙත් ගොඩක් රෑ වෙනකන් එයා පොත් කියෙව්වා. වෙලාව පාන්දර 3 ට විතර ඇති. මම නිඳාගෙන ඉද්දි එක පාරටම මගේ ඇඟට පැනලා මට පිහියකින් ඇන්නා. මට මොකුත් හිතාගන්න බැරිවුණා. ඊට කලින් දවසේ ප්‍රශ්නයක් ඇති වුණෙත් නෑ. එහා කාමරේ නිඳාගෙන හිටපු අම්මා මගේ කාමරේට ආවා. මිනිහා මාව අතඇරලා අම්මා පස්සේ එළවලා අම්මට පිහියෙන් ඇනගෙන ඇනගෙන ගියා. මං සිද්ධිය අහල පහල ගෙවල්වලට ගිහින් කිව්වා. එතකොට මිනිලා පැනලා ගිහින්.“
කොට්ටාව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.
අමිල මලවිසූරිය