"නිශ්චිතවම ඔහු දිනනවා" අපේ රටේ ඕනෑම මැතිවරණයකදී තම සිත් ගත් අපේක්‌ෂකයන් ගැන ඒ ඒ ඡන්දදායකයින් බොහෝමයක් එසේ පවසනවා. වෙනත් රටවලත් එය එසේ විය හැකියි. එය විශේෂයක් නොවෙයි. එහෙත් ඒ දිනන්නේ කවුරුන්ද යන්නවත් නමින් සඳහන් නොකොට, ඒ වැකිය තම මුවින් පිට කළ සැනින් ලොව පුරා මාරුතයක් මෙන් හමා යන ප්‍රධාන පුවතක් මැනිය හැක්‌කේ කෙතරම් නම් සුවිශේෂී කෙනෙකුටද?
නුදුරු දිනකදී පැවැත්වුණු රුසියාවේ ජනාධිපතිවරණයේදී එවැන්නක් සිදුවුණා. ඒ පුවත මවාලුයේ තම ඡන්දය ප්‍රකාශ කිරීමට ඡන්දපළට පැමිණි කාන්තාවක්. ඇය මධ්‍යම මොස්‌කව් හි පිහිටි ඡන්දපළට පැමිණ තම විදෙස් ගමන් බලපත්‍රය ඡන්දපළ නිලධාරිනියකට පිරිනැමුවා. "ඔබ පැමිණෙන තුරු අප බලාගෙන සිටියා. ඔබ ගියවර පැමිණ තිබුණේ නෑ" යනුවෙන් සුහද විවේචනයක් ඇයට එම නිලධාරිනිය එල්ල කළා. ඇය ගියවර යෑයි අදහස් කළේ පසුගියදාක රුසියාවේ පැවැති නගර සභා මැතිවරණය ගැනයි. රිද්මයානුකූල ජීම්නාස්‌ටික් ක්‍රීඩාවේ නිරත වී ඔලිම්පික් රන් පදක්‌කමින් තම මව් බිම සැරසූ ඇලීනා කැබයිවා (alina kabaeva) නම් වූ ඇය, වයසින් අවුරුදු තිස් හතර (34) ක් වූ රූමතියක්. එහෙත් ඇය මෙතරම් මාධ්‍ය අවධානයක් දිනාගන්නට හේතුව ඒ එකක්‌වත් නොවේ. ඊට හේතුව රුසියානු ජනාධිපති ව්ලැඩ්මිලර් පුටින් හා ඇය ගැන පවතින ප්‍රබල කතාන්දරයක්. ඒ කතාන්දරයට අනුව දැනට සිය මුල් බිරිඳගෙන් දික්‌කසාද වී සිටින පුටින්, ඇලීනා කැබයිවා සමග විවාහ වී සිටිනවා.
එහෙත් ඒ රහසින්. ඇයට පුටින්ට දාව දරුවන් දෙදෙනෙක් සිටිනවා. එයද රහසක්. පුටින් සහ ඔහුගේ මුල් බිරිඳ එක්‌ව මාධ්‍ය හමුවකට පෙනී සිටිමින් පසුගිය 2014 වසරේදී ඔවුන්ගේ නීත්‍යානුකූල වියෝගය ප්‍රකාශයට පත් කළා. එයින් පසුව ඇලීනා කැබයිවා කිහිප වතාවක්‌ම තම අතැඟිල්ලේ රැඳුණු මංගල මුදුව ප්‍රදර්ශනය වන පරිදි මාධ්‍යය ඉදිරියේ දර්ශනය වී තිබෙනවා.