මාදම්පේ - කුලියාපිටිය මාර්ගයේ උඩුබද්දාව ප්‍රදේශයේදී සිදුවූ යතුරුපැදි අනතුරකින් තරුණයින් තිදෙනෙකු මියගොස් තිබුණා.
මෙම යතුරුපැදි අනතුරින් මියගොස් තිබුණේ වයස අවුරුදු 18 හා 19 යන වයසේ පසුවූ තරුණයින් තිදෙනෙක්.
මොවුන් තිදෙනා 25 වනදා අලුයම 12.30 ට පමණ උඩුබද්දාව පන්සල් හන්දියේ පිහිටි දේවාලයක මංගල්‍යයකට සහභාගි වී නිවෙස් බලා යමින් සිටියදී මෙම අනතර සිදු වී ඇත්තේ.
මොවුන් තිදෙනාම ගමන් ගත් යතුරුපැදියේ වේගය පාලනය කරගැනීමට නොහැකිව මාර්ගයේ ගමන්ගත් තවත් යතුරුපැදියක ගැටී මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ ගසක හා දුරකතන කණුවක වැදීමෙන් ඔවුන් තිදෙනාම බරපතළ තුවාල ලබා එම ස්ථානයේදීම මියගොස් ඇති බවයි දුම්මලසූරිය පොලිසිය පවසන්නේ.
මෙලෙස මියගොස් ඇත්තේ කැන්දයායවත්ත - උඩුබද්දාව ප්‍රදේශයේ පදිංචි ඉසිර රවිනාත්‍ය නම් 18 හැවිරිදි තරුණයෙක් හා උඩුබද්දාව ප්‍රදේශයේම පදිංචි 19 හැවිරිදි තරුණයින් දෙදෙනෙකු වන බුද්ධිමාල් සදකැළුම් සහ ඩිලාන් සංචිල යන අයයි.
මෙම තරුණයන් තිදෙනාම උඩුබද්දාව ධම්මානන්ද විද්‍යාලයෙන් පසුගිය වසරේ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දී ප්‍රතිඵල එනතුරු බලාසිටි මිතුරන් තිදෙනකු බවද සඳහන්.
මියගිය පුද්ගලයන්ගේ මෘත ශරීර මේ වන විට කුලියාපිටිය මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු ඊයේ දින සිදු කිරීමට නියමිතව තිබුණා.
මරණයට පත් බුද්ධිමාල් සඳකැලුම් නරසිංහ දරුවාගේ මව පැවසුවේ මෙවන් දෙයක්..
"මගේ දෙවැනි දරුවා බුද්ධිමාල් සඳකැලුම් නරසිංහ මේ නැති වෙලා තියෙන්නේ. පුතාට අවුරුදු 19යි. පුතා ක්‍රීඩාවට හරි දක්ෂයි. ගිය අවුරුද්දේ සාමාන්‍ය පෙළ ලියලා ප්‍රතිඵල එනකන් උන්නේ. පුතාට බයික් එක අරන් දුන්නෙත් එයාගේ කිරි අම්මා. පුතා යාළුවෝ එක්ක දේවාලේ මංගල්‍යයට යනවා කියලා ගියේ. බයික් එක ටිකක් වේගෙන් ගිහින් තියෙනවා. බයික් එකේ වේගේ පාලනය කරගන්න බැරුව බයික් එක ගහක වැදිලා තමයි පුතා නැතිවෙලා තියෙන්නේ. පුතා ජිම් එකක් දාන්නත් බඩු ලෑස්ති කරන් උන්නේ. ඒ ඔක්කොම ඉවරයි දැන්."VIDEO