ඒ, කතරගම වන්දනාවේ පැමිණ ආපසු යමින් තිබූ පෞද්ගලික බස් රථයකට වන අලියෙකු එල්ල කළ දරුණු පහරදීමක් හේතුවෙන් බස් රථය මාර්ගයෙන් ඉවතට පැන පෙරළී යාමෙන් සිදුවූ අනතුරක් ගැනයි.
මෙම අනතුර සිදුව ඇත්තේ කතරගම පොලිස් වසමේ, විදුලි වැට මුරපොල ආසන්නයේදී අද දහවල් 11:00 ට පමණ.
හලාවත ප්‍රදේශයේ සිට කතරගම වන්දනාවේ පැමිණ නැවත බුත්තල දෙසට ගමන් කරමින් තිබූ පෞද්ගලික බස් රථයකට මෙලෙස වන අලියා විසින් පහරදී තිබෙනවා. වන අලියාගේ පහරදීමත් සමඟම පාලනය කරගත නොහැකි වූ බස් රථය පාරෙන් ඉවතට පැන පෙරළී ගොස් ඇති අතර, අනතුර සිදුවන අවස්ථාවේදී එහි මගීන් 40 දෙනෙකු පමණ ගමන් කරමින් සිට ඇති බවයි වාර්තා වන්නේ.
අනතුරින් බස් රථයේ සිටි මගීන් 10 දෙනෙකු පමණ තුවාල ලබා ඇති අතර, ඔවුන්ව වහාම කතරගම රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන තිබෙනවා. කෙසේ වෙතත්, රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ තුවාල ලැබූ පිරිසගේ තත්ත්වය බරපතල නොවන බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් කතරගම පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.