හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් පානදුර මූලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදීයි ඒ මහතා මෙලෙස දිවිසැරිය නිමා කර ඇත්තේ. මියයන විට ඒ මහතා 73 වැනි වියේ පසුවුණා.
ශ්‍රී ලාංකේය සිනමා වංශකතාවේ රන් අකුරින් ලියැවුණු මෙරට ප්‍රථම සජීවකරණ චිත්‍රපටය" නිර්මාණය කිරීමේ ගෞරවය හිමිවන්නේ ගිවන්ත අර්ථසාද් නාමයටයි. තාක්ෂණය දියුණු නැති අතීත යුගයක, හුදෙක් සහජ දක්ෂතාවය සහ අප්‍රතිහත ධෛර්යය පමණක් පෙරදැරි කරගනිමින් ඔහු කළ ඒ විප්ලවීය නිර්මාණ කාර්යය මෙරට සිනමා ඉතිහාසයේ සදා අනුස්මරණීය සන්ධිස්ථානයක්.
ගිවන්ත අර්ථසාද් කියන්නේ මෙරට සිනමාවේ අතිශය ජනප්‍රිය වාණිජ චිත්‍රපට රැසක් අධ්‍යක්ෂණය කළ ප්‍රවීණ සිනමාවේදී දිනේෂ් ප්‍රියසාද් මහතාගේ ආදරණීය වැඩිමහල් සොහොයුරායි. කලා පවුලක උපන් ඔහු තම නිර්මාණශීලීත්වය තුළින් නිහඬවම මෙරට කලා කෙත අස්වැද්දූ දැවැන්ත චරිතයක් ලෙස කාගේත් ගෞරවයට පාත්‍ර වුණා.
ගිවන්ත අර්ථසාද් මහතාගේ අභාවයත් සමඟ දිනේක්ෂි, ශේෂාද්‍රි, ශනුද්‍රි ප්‍රියසාද් ඇතුළු ප්‍රියසාද් පවුලට මෙන්ම සමස්ත කලා ක්ෂේත්‍රයටම මේ වන විට දැඩි පාඩුවක් සහ ශෝකයක් එක්ව තිබෙනවා. ඒ මහතාගේ අවසන් කටයුතු පිළිබඳ විස්තර ඉදිරියේදී පවුලේ ඥාතීන් විසින් දැනුම්දීමට නියමිතයි.
නිහඬවම දැවැන්ත නිර්මාණ මෙහෙවරක් ඉටුකළ ඒ විශිෂ්ට කලාකරුවාණන්ට අපගේ බලවත් ශෝකය!