ඒ ලොව ප්‍රබලම හයේ පහරවල් ගසන ඇන්ඩ්‍රි රසල් වසර අටක් තිස්සේ රැකගෙන සිටි අතිවිශේෂ වාර්තාවක් බිඳ හෙළමින්.
St Kitts and Nevis Patriots කණ්ඩායම නියෝජනය කරන දසුන්, ශාන්ත ලුසියා කිංස් කණ්ඩායමට එරෙහිව ඊයේ ක්‍රීඩාංගණයට පිවිසියේ ප්‍රතිවාදී පන්දු යවන්නන්ට කිසිදු අනුකම්පාවක් නොපෙන්වන අදහසින්.
මුළු ක්‍රීඩාංගණයම හතරේ සහ හයේ පහරවලින් ගිනි තැබූ ඔහු, පන්දු 39කදී තම ශතකය සම්පූර්ණ කළා. ඒ අනුව, 2018 දී රසල් විසින් පන්දු 40කින් තබා තිබූ CPL ඉතිහාසයේ වේගවත්ම ශතකයේ වාර්තාව දසුන් හමුවේ කුඩුපට්ටම් වී ගියා.
දසුන්ගේ මෙම මනරම් ඉනිම නිමා වන විට ඔහු නොදැවී රැස්කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 121ක්. ඒ සඳහා ඔහු වැය කළේ පන්දු 43ක් පමණක් වන අතර, එම ඉනිමට දැවැන්ත හයේ පහර 12ක් සහ හතරේ පහර 8ක් ඇතුළත් වුණා.
දසුන්ගේ මෙම ප්‍රහාරාත්මක පිතිහරඹය හමුවේ St Kitts and Nevis Patriots කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4කට ලකුණු 235ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කරගත්තා.
දසුන්ගේ මෙම ප්‍රචණ්ඩකාරී පිතිකරණයත් සමඟ මුළු ජාත්‍යන්තර ක්‍රිකට් ලෝකයේම කතාබහ යළිත් වරක් ශ්‍රී ලාංකික නාමය වටා කරකැවෙන්නට පටන් ගෙන තිබෙනවා.