රුධිරය පිරිසිදු කිරීමේ සිට රුධිර පීඩනය පාලනය කිරීම දක්වා බැරෑරුම් වැඩ කොටසක් ඉටු කරන වකුගඩු, අකර්මණ්‍ය වීමට පටන් ගත් විට මුල් අවස්ථාවේදී පෙන්වන්නේ ඉතා සූක්ෂ්ම ලක්ෂණයි. බොහෝ දෙනෙක් මේවා සාමාන්‍ය දේවල් යැයි සිතා අතහැර දැමීම නිසා අවසානයේදී වකුගඩු සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය වන තත්ත්වයට පත් වේ.
ඔබේ වකුගඩු අනතුරේ බව හඟවන ඒ ප්‍රධාන රෝග ලක්ෂණ 5 සහ ඉන් බේරෙන හැටි මෙන්න,
1. මුත්‍රා පිටවීමේ රටාවේ වෙනස
ඔබට වෙනදාට වඩා නිතර නිතර මුත්‍රා කිරීමට අවශ්‍යතාවයක් දැනෙනවාද? නැතිනම් මුත්‍රා පිටවන විට අධික ලෙස පෙණ සහිත බවක් පෙනෙනවාද? මෙය වකුගඩු වල පෙරීමේ ක්‍රියාවලිය දුර්වල වී ඇති බවට කරන මුල්ම අනතුරු ඇඟවීම විය හැකියි.
2. ශරීරයේ ඇතිවන ඉදිමුම
උදෑසන අවදි වන විට ඇස් වටා ඉදිමුමක් හෝ සවස් කාලයේදී වළලුකර සහ පාද ඉදිමීම වකුගඩු රෝගයේ ප්‍රධාන ලක්ෂණයකි. සිරුරේ ඇති අතිරික්ත සෝඩියම් සහ දියර ඉවත් කිරීමට වකුගඩුවලට නොහැකි වූ විට මෙලෙස පටක ඉදිමීම සිදු වේ.
3. පාලනය නොවන රුධිර පීඩනය
අධි රුධිර පීඩනය සහ වකුගඩු රෝගය යනු "දෙපැත්ත කැපෙන කඩුවක්" වැනිය. රුධිර පීඩනය ඉහළ යාම නිසා වකුගඩු නරක් වන අතර, වකුගඩු නරක් වීම නිසාද රුධිර පීඩනය තවත් ඉහළ යයි. ඔබ ගන්නා ඖෂධ මාත්‍රාවලින් රුධිර පීඩනය පාලනය නොවේ නම්, වහාම වකුගඩු පරීක්ෂා කරගන්න.
4. දියවැඩියාව සහ සීනි මට්ටම හදිසියේ පහත වැටීම
වකුගඩු රෝගීන්ගෙන් 80%ක්ම දියවැඩියා රෝගීන් බව වෛද්‍ය මතයයි. වසර ගණනාවක් තිස්සේ ඉහළ මට්ටමක තිබූ සීනි මට්ටම හදිසියේම පහත වැටෙන්නට පටන් ගන්නේ නම්, එය වකුගඩු අකර්මණ්‍ය වීමේ ලක්ෂණයක් විය හැකියි.
5. තෙහෙට්ටුව සහ සමේ කැසීම
ශරීරයේ අපද්‍රව්‍ය පිරිසිදු නොවන විට රුධිරයේ විෂ එකතු වේ. මෙහි ප්‍රතිඵලයක් ලෙස අධික විඩාව, ඔක්කාරය, ආහාර අරුචිය සහ සමේ දැඩි කැසීම ඇති විය හැකියි. විශේෂයෙන් ශරීරයේ පොස්පරස් මට්ටම අසමතුලිත වීම මෙයට ප්‍රධාන හේතුවයි.
වකුගඩු සුරකින නීති රීති කිහිපයක්,
වකුගඩු රෝගයෙන් බේරී සිටීමට නම් අදම ඔබේ ජීවන රටාවේ මේ වෙනස්කම් සිදු කරන්න,
ජලය ප්‍රමාණයට බොන්න
දිනකට අවම වශයෙන් ජලය ලීටර් 2.5ක් වත් පානය කරන්න. ඔබේ මුත්‍රා ලා කහ හෝ පැහැදිලි වර්ණයෙන් යුක්ත නම් ඔබ ප්‍රමාණවත් ලෙස ජලය බොන බවට එය සහතිකයකි.
ලුණු සහ සීනි සීමා කරන්න
කෘතිම රසකාරක, අච්චාරු, පපඩම් සහ පැණිබීම වකුගඩුවලට විෂකි. විශේෂයෙන් "සහිඳ ලුණු" ගුණදායක යැයි සිතුවද අධි රුධිර පීඩනය ඇත්තවුන්ට එය හානිකර විය හැක.
බර පාලනය
ඔබේ ශරීර ස්කන්ධ දර්ශකය (BMI) 24ට වඩා අඩුවෙන් තබා ගැනීමට උත්සාහ කරන්න. තරබාරුකම වකුගඩු රෝගවලට පාර කපයි.
ප්‍රවේශමෙන් බෙහෙත් බොන්න
වෛද්‍ය උපදෙස් නැතිව ෆාමසිවලින් ගන්නා වේදනා නාශක (Pain killers) ඔබේ වකුගඩු එක රැයකින් විනාශ කළ හැකියි.
මතක තබා ගන්න වකුගඩු රෝගය යනු නිහඬ මාරයෙකි. නියමිත වේලාවට රෝග ලක්ෂණ හඳුනා ගැනීම සහ සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවකට හුරුවීම ඔබව ජීවත් කරවනු ඇත!