ලොව පුරා දැඩි කතාබහට ලක්ව ඇති, කෘතිම බුද්ධිය (AI) මගින් නිර්මාණය කරන ‘ඩීප්ෆේක්’ (Deepfake) හෙවත් ව්‍යාජ රූප සහ වීඩියෝ පාලනය කිරීම සඳහා ලොව ප්‍රථම වතාවට විශේෂ නීතියක් ක්‍රියාත්මක කිරීමට දකුණු කොරියාව පියවර ගෙන තිබෙනවා.
දකුණු කොරියාව මෙවැනි දැඩි නීතියක් ගෙන ඒමට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ, ලොව පුරා ‘ඩීප්ෆේක්’ අසභ්‍ය රූපවලින් පීඩාවට පත්වන්නන්ගෙන් 53%ක්ම එරට සිටින බවට වාර්තා වීමයි.
AI මූලික පනත (AI Basic Act) ඔස්සේ හඳුන්වාදෙන නව නීතිය මගින් AI තාක්ෂණය නියාමනය කිරීමයි අරමුණු කර ඇත්තේ.
මෙම පනත යටතේ, AI මගින් නිර්මාණය කරන ලද කාටූන් සහ වෙනත් කලා නිර්මාණ සඳහා ඇසට නොපෙනෙන ඩිජිටල් සලකුණු (Watermarks) ඇතුළත් කිරීම අනිවාර්ය වනවා.
වඩාත්ම වැදගත් කරුණ වන්නේ, ඕනෑම ‘ඩීප්ෆේක්’ නිර්මාණයක් එය AI මගින් සාදන ලද්දක් බව පැහැදිලිව සඳහන් කළ (Label) යුතු වීමයි.
එසේම, මිනිස් ජීවිතවලට, ආරක්ෂාවට සහ මූලික අයිතිවාසිකම්වලට දැඩි බලපෑමක් කළ හැකි ඉහළ බලපෑමක් සහිත AI පද්ධති නිරන්තරයෙන් මිනිස් අධීක්ෂණයට සහ ඇගයීමට ලක් කිරීම ද අනිවාර්ය කර තිබෙනවා.
මෙම නීතිරීති කඩකරන සමාගම්වලට ඩොලර් 20,400ක් දක්වා දඩ මුදල් පැනවිය හැකියි.
මීට පෙර යුරෝපා සංගමය ද 2024 වසරේදී AI සම්බන්ධ නීතියක් සම්මත කළත්, එය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වන්නේ 2027 වසරේදීයි.
එම නීතිය මගින් මිනිසුන්ගේ චර්යාවන් වෙනස් කිරීමට උත්සාහ කරන සහ ජෛවමිතික හඳුනාගැනීම් කරන AI භාවිතයන් තහනම් කර තිබෙනවා.
එසේම ChatGPT වැනි පද්ධතිවලින් නිපදවන තොරතුරු AI මගින් නිපදවූ බව හෙළි කළ යුතු අතර නීතිවිරෝධී දේවල් නිර්මාණය කිරීම වැළැක්වීමට ද එහි පියවර ගෙන තිබෙනවා.
2024 වසරේදී ටෙලිග්‍රෑම් හරහා මෙවැනි ව්‍යාජ අසභ්‍ය රූප බෙදාහරින විශාල පිරිසක් එරට බලධාරීන් විසින් අනාවරණය කරගත්තා.
කෙසේ වෙතත්, ඇතැම් මානව හිමිකම් සංවිධාන පවසන්නේ පුරවැසියන් අවදානමෙන් ආරක්ෂා කිරීමට මෙම පනතේ ඇති ප්‍රතිපාදන තවමත් ප්‍රමාණවත් නොවන බවයි.
මීට අමතරව, තවත් AI චැට්බොට් එකක් මගින් කාන්තාවන්ගේ අසභ්‍ය රූප මිලියන ගණනක් නිර්මාණය කිරීම නිසා ලොව පුරා විශාල ආන්දෝලනයක් ඇති වුණා.
මේ සම්බන්ධයෙන් ඉන්දියාව, ඉන්දුනීසියාව, මැලේසියාව, ඇමරිකාව, බ්‍රිතාන්‍යය, ප්‍රංශය සහ ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් ගණනාවක් මෙන්ම යුරෝපා සංගමය ද පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
මේ අතර, 'X' සමාජ මාධ්‍ය ජාලය ජනවාරි මැද භාගයේදී නිවේදනය කළේ සැබෑ පුද්ගලයන්ගේ රූප අඩ නිරුවත් ඇඳුම් සහිතව වෙනස් කිරීමට Grock හට ඇති හැකියාව වැළැක්වීමට තාක්ෂණික පියවර ගෙන ඇති බවයි.
දකුණු කොරියාව මෙම කටයුත්තට පෙරමුණ ගෙන ඇති අතර, අනෙක් රටවල් ද මෙය අනුගමනය කරනු ඇත්ද යන්න දැන් ලොවම බලා සිටිනවා.