ජෙමීමා රොඩ්රිගස් ලෝක කුසලානය දිනාගත් ඉන්දීය කාන්තා කණ්ඩායමේ මැද පෙළ පිතිකාරිනියක්. ජෙමීමා පිතිකරණයට මෙන්ම ගීත ගායනයටත් ගිටාරය වාදනයටත් ඒ හා සමානව දක්ෂයි. ඇය ගිටාරය වාදනය කිරීම සහ ගායනය සම්බන්ධයෙන් කිහිප වතාවක්ම ප්‍රවෘත්ති මැව්වා.
කාන්තා එක්දින ලෝක කුසලානය ජයග්‍රහණය කළහොත් ජෙමීමා සමඟ ගීතයක් ගායනා කරන බවට ඉන්දීය ක්‍රිකට් ශ්‍රේෂ්ඨයකු වූ සුනිල් ගවස්කාර් මහතා පොරොන්දුවක් දී තිබුණා. මේ පිළිබඳ ජෙමීමා සමාජ මාධ්‍ය ඔස්සේ ද තම කැමැත්ත ප්‍රකාශ කළා. එතැන් සිට රසිකයන් ඒ මොහොත එනතුරු බලා සිටියා.
ලෝක කුසලානය දිනා මාස දෙකකට වැඩි කාලයකට පසු, ගවස්කාර් තම පොරොන්දුව පෙරේදා ඉටු කළ අතර, ජෙමීමාට පිත්තක් මෙන් නිර්මාණය කරන ලද ගිටාරයක් තෑගි කළා. ජනප්‍රිය ක්‍රිකට් විරුවාගෙන් එවැනි අපූරු තෑග්ගක් ලැබීමෙන් පසු ජෙමීමාට ඇගේ උද්යෝගය පාලනය කර ගත නොහැකි වුණා.
ජෙමීමා විහිළුවට ගවස්කාර්ගෙන් ඇසුවේ "මේක ගායනයට ද පිතිකරණයට ද" යනුවෙන්. ගවස්කාර් පිළිතුරු දුන්නේ, "ඔබට දෙකම කළ හැකිය" කියමින්.
ඉන්පසු දෙදෙනාගේ ගීතය ආරම්භ වුණා. ගවස්කාර් සහ ජෙමීමා එක්ව ‘ෂෝලේ’ චිත්‍රපටයේ ජනප්‍රිය ගීතය වන ‘යේ දොස්ත් හම් නෙහී’ ගීතය ගායනා කළා. ජෙමීමා ගීතයේ තාලයට ගිටාරය වාදනය කළාය. ජනප්‍රිය නළු අමිතාබ් බච්චන් ‘ෂෝලේ’ චිත්‍රපටයේ රඟපෑ අතර, මේ සදාකාලික ගීතය කිෂෝර් කුමාර් සහ මන්නා ඩේ විසින් ගායනා කළා. ගවස්කාර් – ජෙමීමා යුවළගේ ගීතයේ වීඩියෝවක් දැනටමත් සමාජ මාධ්‍යවල වයිරල් වෙමින් පවතිනවා.
දිනමිණ පුවත්පත ඇසුරෙන්..