මෙම නිවස මිලදී ගත්තේ කා වෙනුවෙන්ද..? ජැක් මාගේ බිරිඳ වන කැතී යිං ෂැං විසින් එංගලන්තයේ ලන්ඩනයේ පිහිටි, කලක් ඉතාලි තානාපති කාර්යාලය ලෙස සේවය කළ මන්දිරයක් මෙලෙස මිලදී ගෙන ඇති බවයි දැක්වෙන්නේ. ඒ අනුව අලිබබා ඔන්ලයින් වෙළෙඳ ජාලයේ නිර්මාතෘ ජැක් මාගේ පවුලට එක්වූ දැවැන්ත සුඛෝපභෝගී නිවස වන්නේ මෙයයි.
එරට ඉඩම් ලේඛන වාර්තා මේ බව තහවුරු කර ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.
ලන්ඩනයේ බෙල්ග්‍රේවියා හි පිහිටි මෙම නිවස ෂැං විසින් පසුගිය සරත් සෘතුවේ දී පවුම් මිලියන 19.5 කට මිල දී ගෙන තිබෙනවා.
එහි මිල අනුව, එය පසුගිය වසරේ ලන්ඩනයේ සිදුවූ 34 වන වඩාත්ම මිල අධික විකිණීමයි.
එය 2024 වසරේ ලන්ඩන් ගනුදෙනුවල ඉහළම ගනුදෙනු සිදුවූ 0.4% අතරට අයත්.
මෙම නිවස ප්‍රථමයෙන් වෙළෙඳපොළට පැමිණි විට එහි ඉල්ලුම් මිල පවුම් මිලියන 21.5 ක් වූණා.
මෙය Grade II ලැයිස්තුගත කළ නාගරික නිවසක්. එය 1920 ගණන්වලදී ඉතාලි තානාපති කාර්යාලය ලෙස භාවිතා කර තිබුණා.
එය ඉතාලි ආරක්ෂක අනුයුක්ත නිලධාරියාගේ කාර්යාලය ලෙස ද ක්‍රියාත්මක වූවක්.
වර්ග අඩි 7,948 ක් විශාල මෙම මන්දිරය පසුව පදිංචිය සඳහා නිවසක් බවට පරිවර්තනය කර තිබෙනවා.
එහි සිනමා ශාලාවක්, සෝපානයක් සහ නිදන කාමර හයක් අඩංගුයි.
මෙම දේපල මිලදී ගැනීම මගින් ජැක් මාගේ පවුලේ චීන දේශසීමාවෙන් ඔබ්බට ඇති දැවැන්ත නිශ්චල දේපල එකතුවට තවත් එකක් එක් කර තිබෙනවා.
2020 දී චීන ඉහළ පෙළේ නිලධාරීන් කෝපයට පත් කිරීමෙන් පසු ජැක් මා තම කාලය වැඩි ප්‍රමාණයක් රටින් පිටත ගත කරමින් අඩු අවධානයක් සහිතව සිටින බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.
ඔහු කලක් ටෝකියෝවේ ද ජීවත් වුණා.
ජැක් මා ලෝක වේදිකාවෙන් ඉවත් වී තිබුණද, ඔහු දේපළ මිලදී ගැනීම දිගටම කරගෙන ගොස් තිබෙන බව පෙනී යනවා.
ෂැං විසින් පසුගිය වසරේ සිංගප්පූරුවේ යාබද කඩ සාප්පු තුනක් සඳහා සිංගප්පූරු ඩොලර් මිලියන 45 ක් පමණ ගෙවූ බව මීට පෙර වාර්තා වුණා.
ජැක් මා ගේ බිරිඳ හොංකොං සමාගමක එකම කොටස් හිමිකාරිනිය වන අතර, ජැක් මා විසින් ප්‍රංශයේ මන්දිරයක් සහ මිදි වතු මිලදී ගැනීමට එම සමාගම භාවිතා කරනවා.
ජැක් මා ගේ පවුල විසින් 2015 දී බෙල්ජියම් රජයට අයත්ව තිබූ හොංකොං හි වික්ටෝරියා පීක් හි ඇති සුඛෝපභෝගී නිවසක් ද මිල දී ගෙන තිබෙනවා.
ජැක් මා 2015 දී නිව්යෝර්ක්හි ඇඩිරොන්ඩැක්ස් හි අක්කර 28,100 ක දේපලක් ඩොලර් මිලියන 23 කට මිලදී ගෙන තිබුණා.