2026 වර්ෂයේ පළමුවන ශ්‍රේණියට ඇතුළත්වන සිසුන් සඳහා විධිමත් ලෙස පන්ති ආරම්භ කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය ලිපියක් නිකුත්කර තිබෙනවා.
ඒ අනුව රජයේ පාසල්වල හා රජයේ ආධාර ලබන /නොලබන පෞද්ගලික පාසල්වල 2026 වර්ෂයේ දී පළමුවන ශ්‍රේණියේ සිසුන් සඳහා විධිමත් ලෙස පන්ති ආරම්භ කිරීම සිංහල, දෙමළ හා මුස්ලිම් පාසල් සඳහා 2026 ජනවාරි මස 20 වැනි දා (අඟහරුවාදා දින) සිදු කිරීමට තීරණය කර ඇති බවයි එම ලිපියේ සඳහන් වෙන්නේ.
එදිනට පෙර පළමුවන ශ්‍රේණියට තෝරා ගත් සිසු දරුවන් පාසලට ඇතුළත් කිරීම සිදු කළ යුතු බවත් එම ලිපියෙහි සඳහන්.
මෙහිදී එම උපදෙස් ලිපියේ අඩංගු කරුණු පහතින්.
02. එදිනට එනම්, 2026.01.20 දින පළමුවන ශ්‍රේණියේ සිසුන්ට විධිමත් ලෙස පන්ති ආරම්භ කිරීමට අදාළ පිළිගැනීමේ වැඩසටහන පහත අංග ඇතුළත් ව සිදු කිරීම යෝග්‍ය වේ.
2026 වර්ෂයේ දෙවන ශ්‍රේණියේ සිසුන් විසින් නවක සිසුන් පිළිගැනීම.
දෙමාපියන් හා ආරාධිත අමුත්තන් පිළිගැනීම, ජාතික හා පාසල් ධජ එසවීම, ජාතික ගීය හා පාසල් ගීය ගායනය.
ප්‍රාථමික අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, පළමුවන ශ්‍රේණියේ නව විෂයමාලාව ක්‍රියාත්මක කිරීමේ පරමාර්ථ හා අරමුණු පිළිබඳ ව පළමුවන ශ්‍රේණියට පිවිසෙන
සිසුන්ගේ දෙමාපියන් දැනුවත් කිරීම.
නවක සිසුන් පිළිගැනීම ප්‍රාථමික අංශයේ සිසුන්ගේ සහභාගිත්වයෙන් ප්‍රාසාංගික ලෙස සිදු කිරීම.
03. නවක සිසුන්ට ප්‍රමුඛ ස්ථානයක් ලැබෙන අයුරින් මෙම වැඩසටහන පැවැත්විය යුතු අතර සිසුන්ට හා දෙමාපියන්ට කිසිදු අපහසුතාවක් නොවන පරිදි වැඩසටහන සංවිධානය කිරීමට අවධානය යොමු කළ යුතු ය.
04. මෙම වැඩසටහන සාර්ථක ව පැවැත්වීමට පාසලේ සියලු ම අංශ සහ පාසල් සංවර්ධන සමිතිය හා ආදී ශිෂ්‍ය සංගමය ඇතුළු සියලු පාර්ශවවල සහයෝගය හා සහභාගිත්වය ලබා ගැනීම සුදුසු ය.
05. එසේ ම පළමුවන ශ්‍රේණියට ඇතුළත්වන සිසුන් සඳහා නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ සකස් කර ඇති දරුවන් හඳුනා ගැනීමේ වැඩසටහන (ප්‍රාථමික පාසලට ප්‍රීතිමත් ආරම්භයක්) 2026 ජනවාරි මස 02 වැනි දින සිට 2026 ජනවාරි 16 දින දක්වා (රජයේ නිවාඩු දින හැර) ජාතික අධ්‍යාපන ආයතනය විසින් ලබා දී ඇති මාර්ගෝපදේශවලට අනුකූල ව ක්‍රියාත්මක කළ යුතු ය.
06. දරුවන් හඳුනා ගැනීමේ වැඩසටහනට පසු ව පාසලට ඇතුළත් කර ගනු ලබන සිසුන් වෙනුවෙන් ද උක්ත අංක 05 ට අදාළ ක්‍රියාකාරකම් නම්‍යශිලී ලෙස සිදු කිරීමට පළමුවන ශ්‍රේණියේ ඉගැන්වීම් කටයුතු කරන ගුරුවරුන්ට උපදෙස් ලබා දිය යුතුය.