කැලේ සිටින සද්දන්ත අලියෙකු මෙල්ල කළ පුංචි දියණියකගේ වීඩියෝවක් පසුගිය දවස් ටිකේ අන්තර්ජාලය පුරා හුවමාරුවෙමින් තිබුණා.
මන්තර බලෙන් එම අලියාව මෙල්ල කරලා ආපහු කැලේටම යවපු කතරගම පැත්තේ පදිංචි මේ පුංචි දියණිය ඒ ගැන කිව්වේ මේ වගේ කතාවක්.
අවුරුදු 9 ක් වුණු යුතාරා දිල්සරි දියණිය කතරගම ශෂින්ද්‍ර රාජපක්ෂ විද්‍යාලයේ හතරවැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබනවා.
ඇය මන්තරබලෙන් කරපු ඒ වැඩේ ගැනත් එයාගේ ජීවිත තොරතුරුත් කිව්වේ මේ විදිහට.
'' අපේ තාත්තා කැලේට ගියාම හමුවෙන අලින්ට මන්තර මතුරනවා මම දැකලා තියෙනවා. ඉතිං ඒ දේවල් දැක්කම මටත් හිතුනා ඒවා ඉගෙන ගන්න ඕනේ කියලා. මම තාත්තට කිව්වම ඒවා මට ඉගෙනගන්න ඕනේ කියලා තාත්තා මට මන්තර කියලා දුන්නා.
දවසක් මායි තාත්තයි, මල්ලියි තවත් අයියලා දෙන්නෙකුයි ජිප් එකේ යද්දි තමයි මේ අලියා හම්බවුණේ. තාත්තගෙන් මම ඇහුවා මම මතුරන්නද කියලා. තාත්තා හා කිව්වා.. මම එතනට ගිහින් මන්තරේ මැතුරැවාම අලියා ආපහු හැරිලා ගියා. "
ඒ වීඩියෝ හැක හුගක් අය දැකලා.. ඉතිං ඉස්කෝලේ ගියාම මගෙන් හුගක් අය අහනවා අලියා දැක්කම බය හිතුනේ නැද්ද කියලා.. තවත් අය මන්තරේ ගැන අහනවා. "
දිනෙක සිල්වා නම් මේ පුංචි දියණියගේ පියා කතරගම නගරයේම පදිංචිව සිටිනවා. කතරගම සිට කැබිලිත්ත දේවාලයට බැතිමතුන් ප්‍රවාහනය කිරීම ඔහුගේ රැකියාවයි.
සිය මාමණ්ඩියගෙන් උරුම වූ මේ මන්තර හැකියාවෙන් කැබිලිත්තට යන අතරමගදී හමුවුන සතා සිව්පාවන්ගෙන් බැතිමතුන් ආරක්ෂා කර ඔවුන්ව රැගෙන යාම මොහුට පුරුදු බවයි ඔහු පවසන්නේ.
'' මගේ බිරිඳගේ නම ශාලිකා. මගේ දුව පුංචි කාලේ ඉඳලම මා එක්ක යාල කැලේ යනවා. ඒ යන ගමන්වලදී ඉස්සරහට අලියෙක් එහෙම ආවොත් මඟහැර ගන්නම බැරි වුණොත් මම මතුරනවා. ඉතිං දුව ඒවා දැකලා තියෙනවා. ඒ නිසා වෙන්න ඇති දුව දවසක් මගෙන් මේ මන්තරේ පුරුදු කරන්න කියලා ඉල්ලුවේ. මම කියලා දීපු ඒ මන්තරේ ගැන වගේ ම දුව ගැනත් විශ්වාසයක් තිබුණා. නමුත් මම සූදානමින් හිටියේ. දුව මතුරනවත් එක්කම අලියා වල්ගෙත් අකුළගෙන ආයේ කැලේ පැත්තටම යනවා දැක්කම මට මන්තර ගැන තිබූ විශ්වාසය වැඩි වුණා. ඒ වගේ ම දුව ගැන ආඩම්බරයකුත් ඇති වුණා.”
'' මම කැබිලිත්තට බැතිමතුන් අරගෙන යද්දි ඒ අතරමග විවිධ සත්තු හමුවනවා. බිරිඳගේ පියා මීට මාස කිහිපයකට ඉහතදී මියගියා. මට ඔහු කියලා දීලා තියෙන්නේ තනි අලියෙකුට මේ මන්තරේ මැතුරුවත් අලි රංචුවකට මතුරන්න එපා කියලා. ඒකට හේතුව අලි රංචුවේ පැටව් ඉන්න අලි ඇතින්නියෝ හිටියොත් දරුණු විදිහට කිරි එරෙනවා කියලා කියනවා. දවසක් මම වෛද්‍යවරුන් 4 දෙනෙක් එක්ක යාල කැලේ ගියා. ඒ යන ගමන අතරමගදි අපේ වාහනේ කාර්මික දෝෂයක් ඇති වුණා. ඒ වෙලාවේ වෛද්‍යවරුන් 4 දෙනා හිටියේ බිම. එක පාරටම මහා සද්දයක් ඇහුණත් එක්කම වෛද්‍යවරුන් හතර දෙනා දුවන්න පටන් ගත්තා. මං එතකොට දැක්කේ පලූ ගහක හිටපු තඩි වලහෙක් වාහනේ බොනට් එකට පැන්නා කියලා. හැමෝම බයවෙලා දිව්වා. මම වලහට මැතුරුවා. වලහා ගහකට නැග්ගා.”
දුව ඉස්සරහට මොනවා කරයිද දන්නේ නෑ.. එයා කැමතිනම් මේ මන්තර ඉගෙන ගන්න මම එයාට හැමදේම කියලා දෙනවා.. මට මගේ දුව ගැන ආඩම්බරයි..VIDEO