ශ්‍රී ලංකාවේ අපට නම් වෙඩිමක් ගැනීමත් යුද්ධයකි. මනාල යුවළගේ ළඟම ඥාතීන්ට පමණක් ඇරියුම් කර උත්සව ශාලාවක එක වේලකින් යන්තම් ජාම බේරා ගැනීමත් අද කාලයේ හැටියට මිලියන දෙකකට වඩා වැයවන වැඩකි.
එහෙව් ලෝකයක මුකේෂ් අම්බානිලා වෙඩිමට නොව ප්‍රී වෙඩිමට ඉන්දීය රුපියල් කෝටි දහසක් වැය කර තිබේ. එය එක ආහාර වේලකට සීමා වූවාක් නොව දින තුනක තනිකර මෙගා වෙඩිමකි. පූර්ව වෙඩිමට වියදම එසේ නම් වෙඩිමට වියදම කෙසේ වේදැයි සිතාගත හැකිය. ඉන්දීය ජනතාව අතර පමණක් නොව ජාත්‍යන්තරයේ අවධානය යොමු වී ඇත්තේ පසුගිය පළමුවැනිදා ආරම්භ වූ මේ ප්‍රී වෙඩිම ගැනය. එය අවසන් වන්නේ ඉරිදාය. එනම් මාර්තු තුන්වැනිදාය.
ලොවම කතා කරන මේ ප්‍රී වෙඩිම අම්බානි පවුලේ බාලයා වූ අනන්ට්ගේ ය. 28 හැවිරිදි අනන්ට්ගේ අත ගැනීමට නියමිතව ඇත්තේ 29 හැවිරිදි රාධිකා මර්චන්ට් ය. ඇය ඉන්දියාවේ නොම්මර එකේ ‘එන්කෝ හෙල්ත්කෙයාර්‘ ඖෂධ සමාගමේ හිමිකරු විරේන් මර්චන්ට්ගේ දියණියකි. ප්‍රී වෙඩිමට මුල් වූයේ මීට අවුරුදු 5කට පෙර දෙදෙනාම අමෙරිකාවේ බ්‍රවුන් විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබද්දී ඇතිකරගත් පෙම් පලහිලව්වය. අවුරුදු පහක් පෙම්කළ මේ දෙදෙනා විවාහ ගිවිස ගත්තේ ගිය අවුරුද්දේ අගභාගයේදීය. විවාහය සිදුවීමට නියමිතව ඇත්තේ ලබන ජූලි මාසයේදීය. එය මේ වසරේ ලොව ලොකුම විවාහය වනු ඇතැයි ඉන්දීය මාධ්‍ය පමණක් නොව ජාත්‍යන්තර මාධ්‍යයත් අනාවැකි පළකර හමාරය.
එවැනි සුපිරි විවාහ අම්බානි පවුලට ආගන්තුක ඒවා නොවේ. 2018 වසරේදී අම්බානි පවුලේ වැඩිමලා ඉෂා අම්බානිගේ විවාහයට වියදම් කළ මුදල ඩොලර් මිලියන 100ක් බව වාර්තා විය. අනන්ට්ගේ වැඩිමල් සොහොයුරාගේ විවාහය 2019දී පැවැති අතර, ඊට වියදම් කළ මුදල අදටත් හෙළි වී නැතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. එහෙත් ඉතාලියෙත්, ඉන්දියාවේ මුම්බායි සහ රාජස්තාන් නුවර දී පැවැති ඉෂා අම්බානිගේ විවාහයේ සියලු ගණන් හිලව් අකුරටම ඉදිරිපත් කළේ නම් අද වෙද්දී වැඩිම මුදලක් වියදම් කළ වෙඩිම ලෙස ගිනස් වාර්තාවට යන්නේ අම්බානිලාය. ඩොලර් බිලියන 114ක වත්කමක් ඇති මේ ආසියාවේ ලොකුම ධනවතාගේ ලොකුම ආසාව මුදල් උපයා ගැනීම පමණක් නොව ‘ලොකු ලොකු වැඩ‘ කිරීමෙන් ජාත්‍යන්තර කීර්තියට හා ගෞරවයට පත්වීමය. 2010 දී ඔහු ඩොලර් බිලියනයක් වියදම් කරමින් තැනූ තට්ටු 27ක ඔහුගේ මන්දිරය ෆෝබ්ස් ලැයිස්තුවට අනුව ලොව වඩාත්ම මිල අධික දේපළ ය.
උපයන මුදල හිතේ හැටියට වියදම් කරන අම්බානිගේ වැඩ තව බොහෝය. ඔහු සිය බිරිය නීටා අම්බානිගේ 44 වැනි උපන්දිනයට තෑගි කළේ ඩොලර් මිලියන 60ක් වටිනා ගුවන් යානයකි. මගීන් 180කට ගමන් කළ හැකි මේ සුපිරි ගුවන් යානයේ නිදන කාමරයක්, විසිත්ත කාමරයක්, චන්ද්‍රිකා තාක්ෂණයෙන් යුතු රූපවාහිනි පද්ධතියක් පමණක් නොව කාර්යාලයක් ද වේ. එපමණක් නොව ලොව වැඩිම වටිනාකමකින් යුතු ‘ෆ්‍රැන්චයිස්‘ ක්‍රිකට් පිල වන මුම්බායි ඉන්ඩියන්ස් පිලේ හිමිකරු ද වේ. 2008 දී ඔහු මුම්බායි ඉන්ඩියන්ස් පිල මිලදී ගත්තේ ඩොලර් මිලියන 112කටය. පසු කාලීනව මහේල ජයවර්ධන මුම්බායි ඉන්ඩියන්ස් පිලේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත්වීම වෙනම කතාවකි.
අනනට්ගේ අම්බානිගේ දින තුනේ ප්‍රී වෙඩිම පැවැත්වෙන්නේ අම්බානිලාගේ උපන් බිම වන ගුජරාට් ප්‍රාන්තයේදීය. එහි ජම්නගර් පළාතේ අක්කර 3000ක වපසරියකින් යුතු අම්බානිගේ වත්තේය. එහි මිලියන 10කට වැඩි ගස්වැල් ය. ආසියාවේ විශාලතම අඹ ගස පිහිටා ඇත්තේ ද අම්බානිගේ වත්තේ ය. එය හුදෙක් ගස්වැල් පිරුණු වත්තක් නොව. ඉන්දියාවෙන් පමණක් නොව ලොව බොහෝ රටවලින් ආනයනය කරනු ලැබූ දිවියන්, කොටින්, සිංහයන්, ජගුවර්ලා පමණක් නොව අලි ඇතුන්ගෙන්ද පිරුණු සත්වෝද්‍යානයකි. ඉන් බොහෝ සතුන් රෝගීව හෝ මරණාසන්නව සිටියදී මුදාගත් සතුන් බව කියැවේ. ඒ අතින් බැලූවිට එම සතුන් ද මේ අසිරිමත් ප්‍රී වෙඩිම දැකබලා ගැනීමට වාසනාවන්තයෝ වෙති.
කවදත් සුබසාධන කටයුතු වෙනුවෙන් මුල්තැන දෙන මුකේෂ් අම්බානි සිය පුත්‍රයාගේ ප්‍රී වෙඩිමට දිනකට පෙර ජම්නගර් නුවර පනස් එක්දහසකට වැඩි ගම්වාසීන්ට රාත්‍රී ආහාර වේලකින් සංග්‍රහ කිරීම ජාත්‍යන්තර අවධානයට ලක් විය. මේ පුණ්‍ය කටයුත්තට අනන්ට් සහ රාධිකා ද එක් වූහ. අරමුණ වූයේ ප්‍රී වෙඩිමට ගම්වාසීන්ගේ ආශිර්වාදය ලබා ගැනීමය. ඉන්දීය මාධ්‍ය සඳහන් කරන්නේ එය අතිශයින්ම සංවේදී හා හැඟුම්බර රාත්‍රියක් වූ බවය. උතුරන්නට මුදල් ඇති අම්බානිලා එවැනි පුණ්‍යකර්මයකට දායකත්වය දීම කාගෙත් පැසසුමට ලක් විය.
ඉන්දීය මාධ්‍යයට අනුව අනන්ට්ගේ ප්‍රී වෙඩිමේ ආරාධිතයන් දහසකට වැඩිය. දින තුනේ උත්සවයට වෙන වෙනම තේමාවන් ද වේ. පළමු දිනයේ එනම් මාර්තු 1 වැනිදා තේමාව වූයේ ‘ඊවිනිං ඉන් එවර්ලෑන්ඩ්‘ ය. අමුත්තන්ට උපදෙස් දී ඇත්තේ හවස්වරුවේ සාදයට උචිත ඇඳුම් කට්ටලයෙන් සැරසී එන්නට කියා ය. දෙවැනි දිනය නම් කර ඇත්තේ ‘අ වෝක් ඔන් ද වයිල්ඩසයිඩ්‘ කියා ය. අක්කර තුන්දහසක අම්බානිගේ වත්තේ සැරි සැරීමේ චාරිකාවට අමුත්තන්ට උපදෙස් දී ඇත්තේ වනාන්තරයක සංචාරයට සුදුසු ඇඳුමින් සැරසී එන්නට කියා ය. එම ඇඳුම් පැලඳුම්වල විවිධ සත්වයන්ගේ රූප මුද්‍රිත වන්නේ නම් වඩාත් සුදුසු බවට යෝජනා කර තිබු අතර, එසේ නොමැතිනම් හවායි වර්ගයේ කමීස හෝ ටී ෂර්ට් භාවිත කළ හැකි බව දැනුම් දී තිබිණි. තුන්වැනි හා අවසන් දිනය නම් කර ඇත්තේ ‘ටස්කර් ට්‍රේල්ස් ඇන්ඩ් හෑෂ්ටක්ෂර්‘ ලෙසිනි. ජම්නගර් පළාතේ අසිරිය විඳ ගැනීමට හා දැක බලා ගැනීමට අමුත්තන්ට අවස්ථාව සලසා දී ඇත්තේ එදිනටය. ප්‍රී වෙඩිම අවසන් වන්නේ එදින සන්ධ්‍යා කාලයේදී පැවත්වෙන මෙගා උත්සවයකිනි.
සිය දියණියගේ විවාහයට ඩොලර් මිලියන හතරක් ගෙවා ලොව ජනප්‍රියතම ගී තරුවක් වූ බියොන්සේ ගෙන් වූ අම්බානි සිය පුත්‍රයාගේ ප්‍රී වෙඩිමට තවත් අති ජනප්‍රිය බටහිර ගී තරුවක් වන රිහානා ගෙන්වූයේ ඩොලර් මිලියන පහක් ගෙවා බව වාර්තා වේ. දින තුනේදීම රාත්‍රී කාලයේ අනන්ට්ගේ ආරාධිතයන් ගීයෙන් මුසපත් කරනු ලැබුවේ රිහානා ය. ආරාධිතයන් පිනවීමට ඇයට අමතරව තවත් දෙස් විදෙස් නර්තන හා ගායන ශිල්පීන් බොහෝ ය.
ලොව පුරා නොම්මර එකේ ධන කුවේරයන්, සිනමා නළු නිළියන්, දේශපාලඥයන්, ක්‍රීඩක ක්‍රීඩිකාවන් පමණක් නොව විවිධ ක්ෂේත්‍රවල ජනප්‍රිය පුද්ගලයන් රැසකට යවනු ලැබූ ඩිජිටල් ආරාධනා පත්‍රයට අමතරව දින තුනට වෙන් වෙන් වශයෙන් ද ඇරියුම්පත් තුනකි. ඒවායේ අමුත්තන් අනුගමනය කළ යුතු වෙන වෙනම උපදෙස් පත්‍රිකා ද වේ.
ප්‍රී වෙඩිමට ඇරියුම් ලැබුවේ ජනප්‍රියත්වය අතින් එකිනෙකාට දෙවැනි නැති ලෝක ප්‍රකට පුද්ගලයන් වන අතර, තුන් දින උත්සවය වර්ණවත් කිරීමට හැම අතින්ම සුදුසුකම් ලැබුවෝ ද වෙති. රිහානා සමඟ අමුත්තන් කුල්මත් කිරීමට ලෝක ප්‍රකට අමෙරිකානු මැජික් ශිල්පියා ඩේවිඩ් බ්ලේන්ද ඇරියුම් ලැබූ අතර, වැඩිම අවධානය යොමු වූයේ හිලරි ක්ලින්ටන්ට සහ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දියණිය ඉවන්කා ට්‍රම්ප් වෙතටය.ඩිස්නිලන්තයේ ප්‍රධානි බොබ් අයිගර්, මාක් සකර්බර්ග් සහ බිරිය ප්‍රිසිලා චැං, බිල් ගේට්ස්, ගෞතම් අදානි, භූතානයේ රජු ජිග්මි කේසර් සහ රැජන ජෙට්සුන් පේමා, සෞදි ඇරම්කෝ තෙල් ධනපතියාගේ පුත්‍රයා යසීර් අල් රමයියන, අබුඩාබි තෙල් සමාගමේ ප්‍රධානියා සුල්තාන් අල් ජෙබාර්, අමෙරිකානු විද්‍යාඥ ආචාර්ය රිචඩ් ක්ලූස්නර්, අමෙරිකානු බැංකුවේ සභාපති බ්‍රයන් තෝමස් වැනි කීර්තිමත් සහ ජනප්‍රිය පුද්ගලයන් ද ඒ අතර වූහ.
කටාර් රාජ්‍යයේ අගමැති මොහොමඩ් බින් අබ්දුල් රහ්මාන් අල් තානිට ද ඇරයුම් කර තිබූ බව වාර්තා විය. ඊට අමතරව තවත් රටවල් රැසක හිටපු අගමැතිවරුන්ට, ඇමැතිවරුන්ට සහ රාජ්‍ය නායකයන්ට ද ප්‍රී වෙඩිමට ඇරයුම් කර තිබූ බව වාර්තා වේ. අමිතාබ් භච්චන්, ෂාරුක් ඛාන්, සල්මාන් ඛාන්, අමීර් ඛාන්, දීපිකා පදුකෝන්, මධුරි ඩික්සිත්, රන්වීර් සිං, බොනි කපූර්, රානි මුකර්ජි ඇතුළු බොලිවුඩ් සිනමාවේ සුපිරි නළු නිළියන් ද, සචින් තෙන්ඩුල්කර්, මහේන්ද්‍ර සිං දෝනි, රෝහිත් ෂර්මා ඇතුළු ඉන්දීය පිලේ ක්‍රීඩකයන් ද, මුමබායි ඉන්ඩියන්ස් පිලේ ක්‍රීඩකයන් ද ප්‍රී වෙඩිමේ කොටස්කරුවෝ බවට පත් වූහ. සුපිරි ක්‍රීඩක විරාට් කෝලි කිසිදු අවස්ථාවක අම්බානිලාගේ උත්සවවලට සහභාගි වී නැති බවත්, අනන්ට්ගේ ප්‍රී වෙඩිමට ද ඔහු සහභාගි නොවන බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.
දෙස් විදෙස් අමුත්තන්ට ගුජරාට් ප්‍රාන්තයේ ජම්නගර් පළාතේ පිහිටි අම්බානිලාගේ වත්තට පැමිණීමට නවදිල්ලියේ සහ මුම්බායි ගුවන්තොටුපොළේ සිට විශේෂිත ගුවන් යානා වෙන් කර තිබු අතර, වී.වී.අයි.පී පුද්ගලයන්ට විශේෂ ජෙට් යානා වෙන් කර තිබිණි. එබැවින් ප්‍රී වෙඩිමේ පළමු දිනයේ ගුජරාට් අහස එහෙම පිටින්ම අසාමාන්‍ය ලෙස ගුවන්යානා හා ජෙට් යානා හඬින් පිරී ගොස් තිබිණි. ජම්නගර් දේශිය ගුවන්තොටුපොළ එහෙම පිටින්ම කාර්යබහුල වී තිබිණි. පෙබරවාරි 28 වැනිදා සිට මාර්තු 4 දක්වා ජම්නගර් ගුවන්තොටුපොළට පැමිණීමට සහ පිටත්වීමට නියමිතව තිබූ ප්‍රී වෙඩිමේ අමුත්තන්ගේ ගුවන්යානා සංඛ්‍යාව 150කට අධික බව ද වාර්තා විය. මීට අමතරව විදෙස් රටවල විවිධ ගුවන්තොටුපොළවල සිට වී.වී.අයි.පී අමුත්තන් රැගත් පෞද්ගලික ජෙට් යානා රැසක් ද ජම්නගර් ගුවන්තොටුපොළ වෙතට පැමිණීමට නියමිතව තිබිණි. ඒවා පැමිණීමට නියමිතව තිබුණේ අමෙරිකාවේ, බ්‍රිතාන්‍යයේ, භූතානයේ, සෞදි අරාබියේ, ස්වීඩනයේ සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. ඉන්දීය ආගමන හා විගමන අංශය මේ ඉහළම මට්ටමේ උත්සවයට පැමිණෙන අමුත්තන්ට විශේෂ පහසුකම් සලසා තිබූ බව ද වාර්තා විය.
සියලු අමුත්තන්ට ඔවුනොවුන්ගේ ගමන්මලු දෙකකට සහ එක් යුවළකට සූට්කේස් තුනක් බැගින් සීමාකර තිබූ අතර, වැඩිපුර ගෙනෙන්නේ නම් ඒවා එකම ගුවන් යානයේ රැගෙන යා හැකි බවට සහතික විය නොහැකි බවත් දැනුම් දී තිබිණි. මෙවැනි කරුණු කාරණා සියල්ල සම්බන්ධිකරණය කිරීමට දැවැන්ත සංවිධායක මණ්ඩලයක් යොදවා තිබූ අතර, විශේෂිත ආරක්ෂාවක් ද සියලු අමුත්තන්ට ලබා දී තිබිණි. ගුජාරාට් ප්‍රාන්තයේ නවාතැන් ගැනීමට සුපිරි හෝටල් වෙන් කර තිබූ අතර, ලොන්ඩරි පහසුකම් ද සපයා තිබිණි. හිසකේ විලාසිතා නිර්මාණ ශිල්පීන්, රූපලාවණ්‍ය ශිල්පීන් සපයා තිබූ අතර, පළමුව පැමිණෙන්නට පළමුව හැඩ වැඩ වීමේ අවස්ථාව සැලසෙන බව අමුත්තන් වෙත යවනු ලැබූ උපදෙස් පත්‍රිකාවේ සඳහන් වේ.
උත්සවයේ ආහාරපාන සකස් කිරීමට ඉන්ඩෝර් පළාතේ සිට සූපවේදීන් සියයකට වඩා ගෙන්වා තිබූ අතර, ඊට කාන්තාවන් ද 20ක් ඇතුළත් වී සිටියහ. ආහාර පාන රස ගැන්වීමට ට්‍රක් රථ හතරකට කුළු බඩු ගෙන්වා තිබුණු අතර, ප්‍රී වෙඩිමේ දින තුනකට සැලසුම් කර තිබූ ආහාර වර්ග 2500ක් රස ගැන්වීමට ඒවා හොඳටෝම ප්‍රමාණවත් විය. ප්‍රී වෙඩිමේ අමුත්තන්ට සපයනු ලැබූ උදෑසන ආහාරවේල වර්ග 75කින් සමන්විතය. දිවා ආහාරයට විවිධ ආහාර වර්ග 225කට වැඩිය. ඒ අතර විවිධ රටවලට ආවේණික ආහාර වර්ග රැසකි. රාත්‍රී ආහාරයට සැලසුම් කර තිබූ ආහාර වර්ග 275කි. මීට අමතරව මැදියම් රැයේ ආහාර වේලක් ද සකස් කිරීමට කටයුතු යොදා තිබූ අතර, ඊට විවිධ ආහාර වර්ග 85කි. මැදියම් රැයේ ආහාර සැපයීම අලුයම 4 දක්වා සිදුවන බව අමුත්තන්ට වේලාසනින්ම දැනුම් දී තිබිණි.
විදේශීය අමුත්තන්ට විශේෂ ආහාර වර්ග සකස් කර තිබූ අතර, සෑම ආහාර වර්ගයක්ම දැඩි මාර්ගෝපදේශ යටතේ පිළියෙල කෙරිණි. වැදගත්ම කාරණාව වූයේ මේ කිසිදු ආහාර වර්ගයක් දින තුනක කාලය තුළ අමුත්තන්ට සංග්‍රහ කරන ආහාර වේල් 12 අතරට කිසිදු අවස්ථාවක නැවත ඇතුළත් නොකිරීමට වග බලා ගැනීමය. ඒ අනුව ප්‍රී වෙඩිමේ කිසිදු අමුත්තෙකුට එකම ආහාර වර්ගයක් ආහාර මේසයේ දෙවතාවක් දකින්නට ලැබෙන්නේ නැත.
ඉන්දියාව කොහොමත් අහල ගම් හතටම කියා ජයටම මඟුල් කෑමෙන් ලොව ඉදිරියෙන්ම සිටින ජාතියකි. ලොව ලොකුම වෙඩිම නොඑසේ නම් වැඩිම මුදලක් වැය කළ වෙඩිම ලෙස ගිනස් වාර්තාවට හිමිකම් කියන්නේ ද ඉන්දීය යුවළකි. 2004 වසරේ ජූනි මාසයේදි එවකට ලොව තුන්වැනි ධනවතා වූ ලක්ෂ්මි මිටාල් සිය දියණිය වනීෂා මිටාල්ගේ සහ අමිත් භාතියාගේ දින හයක විවාහ උත්සවය පැරිස් නුවර වර්සෙයිල්ස් මාලිගාවේදී පවත්වනු ලැබුවේ අමෙරිකානු ඩොලර් මිලියන 55ක් වියදම් කරමිනි. දැන් පෙනෙන හැටියට ආසියාවේ ලොකුම ධනවතා වන මුක්ෂේ අම්බානි සිය බාල පුත්‍රයාගේ වෙඩිමෙන් ඒ ගිනස් වාර්තාව බිඳ දමනු සහතිකය.