කැළණි ගඟ පිටාර ගැලීමෙන් යටවූ ප්‍රදේශවල ජලය බැසයාමට තවත් දින කිහිපයක් ගතවනු ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
මේ අතර කැළණි ගඟේ- නාගලගම් වීදිය ජල මාපකයේ අගය අද පස්වරුවේ උපරිම අගයට ළඟාවුණා. පස්වරු 4ට 7.6ක් ලෙස එය දැක්වුණු අතර ඊයේ එහි උපරිම අගය ලෙස දැක්වුණේ 7.4 ක් ලෙසයි.
ඒ අනුව ජලයෙන් යටවූ කොළඹ ප්‍රදේශ ගණනාවකම ජල මට්ටම තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා. එමෙන්ම බේස්ලයින් මාර්ගයේ සහ කැළණි පාලමේ මහනුවර දෙසට දැඩි රථවාහන තදබදයක් පවතින බව පොලීසිය පවසනවා.
මේ අතර බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවති ගැඹුරු පීඩන අවපාතය, සුළි කුණාටුවක් බවට පත්වී කන්කසන්තුරය ආසන්නයේ කිලෝමීටර 600 ක් උතුරින් පිහිටා ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එය තවදුරටත් දිවයිනෙන් ඈතට ගමන් කරමින් පවතින බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ. සුළං ප්‍රවාහයේ අභිසාරි බව හේතුවෙන් දිවයිනේ සහ අවට මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය ක්‍ෂණිකව වැඩිවීමේ හැකියාව තවදුරටත් පවතින අතර දිවයිනේ නිරිතදිග කොටසට වැසි ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසනවා.