නාගයින් පිළිබඳ බොහෝ දෙනා තුළ ඇත්තේ දැඩි බියක්.. එම බිය නිසාම ඇතැමුන් නාගයින් කෙරෙහි දක්වන්නේ දැඩි භක්තියක්. නයාට ගසා පොල්ල වරද්දා ගන්න එපා යනුවෙන් කියමනක් ද ගැමියන් අතර පවතින්නේ මේ බිය නිසයි. එමෙන්ම නාගයා යනු පළිගන්නා සතෙක් ලෙසද ගැමි ජනතාව අතර විශ්වාසයක් පවතිනවා. නාගයින් පිළිබඳ පහුගිය දවස්වල වැඩි කතාබහකට ලක්වෙන් පටන් ගත්තෙ සුනාමි ගම්මානයකට වරින් වර පැමිණි නාගයන් හත් දෙනෙක් නිසයි.
මේ ගම්මානය පිහිටා ඇත්තේ අක්මීමන වලහන්දුව පුනකන්දේ. සුනාමියෙන් විපතට පත් පවුල් 54 ජනතාව මේ ගම්මානයේ දිවි ජීවත් වනවා. හිටිහැටියේම මෙම ගම්මානයට විවිධ වර්ණයෙන් යුත් නාගයන් කිහිපදෙනකු පැමිණීම නිසා ගම්මානයේ පදිංචි ජනතාව දැඩි භීතියකින් පසුවුණා. මේ නාග හිරිහැරය නිසා ගම්මානයේ ජනතාවගේ ජන ජීවිතයද තරමක් අඩාල වුණා.
ඇතැම් ගම්වාසින් පැවසුවේ දේව සාපයක් නිසා ගම්මානයට මෙලෙස නාගයන් පැමිණි බවයි. තවත් පිරිසක් විශ්වාස කළේ දේවාලයකින් කළ නාග බන්ධනයක් නිසා ගම්මානයට මේ තත්ත්වය හටගෙන ඇති බවයි. එමෙන්ම මේ ගම්මානයේ තුඹසක සිටි හැපින්නියකට ගම්වැසියකු ගඩොලකින් පහරදීම නිසා ඒ වෛරයට නාගයන් ගම්මානයට පැමිණි බවද ගම්මුන් අතර විශ්වාසයක් පවතිනවා. මේ නයි ප්‍රශ්නය නිසා පසුගිය දින කිහිපය තිස්සේම ගම්මු දැඩි මානසික පීඩනයට ලක්ව සිටියා. ඔවුන්ගේ ප්‍රධාන රාජකාරිය වී තිබුණේ පැමිණෙන නයින් එලවා දැමීමයි.
මෙම ගම්මානයට මුලින්ම පැමිණි නාගයා දුටු කාන්තාව ඒ ගැන සති අන්ත පුවත්පතකට පවසා තිබුණේ මෙලෙසින්.
‘‘මේ ගම්මානයට පදිංචියට ඇවිත් වසර දහයක් වෙනවා. නමුත් ඒ කාලය තුළ කවදාවත් නයි මේ ගමට ආවෙ නැහැ. මම ගෙදරට වෙලා ඉන්න කොට පුතා කීවා අන්න අම්මේ ගැරඩියෙක් එනවා කියලා. භූමිතෙල් ගහන්න භූමිතෙල් ටිකක් ගේන්නත් කියලා මං පුතාට කීවා. ටික වේලාවක් යන විට වැලිගොඩ ළඟ හිටපු පූසාට නයා පෙණය පුප්පාගෙන ඉන්නවා. ඇත්තටම කවදාවත් නයි ආවේ නැහැ. අනේ නයිහාමි කරදර නොකර යන්න කියා මා කීවා. මෙන්න අපේ ගරාජය පැත්තට තවත් විශාල නාගයෙක් එනවා. ඒ හැපින්නියක්. මේ නාගයයි හැපින්නයි යන්නේ නැහැ. වැලිගොඩ ළඟට වෙලා ඉන්නවා. මේ හවස තුනට විතර ආපු ගැම්ම. දැන් රෑත් වුණා. පුතාලා ටෝච් ගහගෙන හිටියා ගේ ඇතුළට ඒවි කියලා.
නයා යන්න ගියා. අපේ ගෙදර පහළ ගල් ගොඩක් තියෙනවා. ඒ ගල්ගොඩ අසලට වෙලා හැපින්නිය ඉන්නවා. අපේ ගෙදරට අල්ලපු ගෙදර කෙනා ඇවිත් හැපින්නියගේ ඇඟට ගලක් පෙරළුවා. ගලට හැපින්නිගේ කට තුවාල වුණා. ලේත් ආවා. ගමේ කට්ටිය එකතු වෙලා නයි අල්ලන කෙනෙක් එක්කගෙන ආවා. එයා රුපියල් තුන්දහසක් ඉල්ලුවා. නමුත් ගල පෙරළලා බැලුවත් එදා හැපින්නිය අල්ලාගන්න බැරි වුණා. එදා රාත්‍රි ගමේ ඔක්කොම නින්දට ගියේ බයෙන්.
පසුදින උදේ පුතා කීවා 'අම්මේ අම්මේ අන්න හැපින්නි ඉන්නවා' කියලා. පස්සේ අපි දුරකතනයෙන් කතා කරලා නයි අල්ලන කෙනාට එන්න කීවා. ඔහු ඇවිත් හැපින්නිය අල්ලා ගත්තා. හැපින්නිය අල්ලා උගේ දළ කැඩුවා. දළ කඩලා තමයි හැපින්නිය රැගෙන ගියේ. එයා සල්ලි ගත්තේ නැහැ. මෙන්න දවල් වන විට තවත් නාගයෙක් ඇවිල්ලා. හැපින්නිය හිටපු තැනටම තමයි ඒ නයා ඇවිත් හිටියේ. පස්සේ නයි අල්ලන කෙනාට කෝල් කරලා ඔහු නැවත ගෙන්වා ගත්තා. මේ විදියට දිනපතා වගේම මේ ගම්මානයට නාගයන් එන්න පටන් ගත්තා. කොහොම හරි නයි හයක් විතර ඇල්ලුවා. එක නයෙක් තමයි අල්ලාගන්න බැරිවුණේ. ඒ නයාට ගමේ කෙනෙක් ගහලා ඌ කැලයට ගියා.
නයි එන්න පටන් ගන්නේ හවස් කාලයට. හවසට මුළු ගමේම අයම එක් රැස් වෙනවා නයි එළවන්න. පස්සේ ගමේ අය එකතු වෙලා දේවාලයකට ගියා සාස්තරයක් අහන්න. ඒ දේවාලයේ මෑණියන් ඇසුවා ගමේ දේවාලයක් තියෙනවාද කියලා. අපි කිව්වා 'ඔව්' කියලා. ඒ දේවාලයෙන් වැරැදිලා කරපු දෙයක් කියලා සාස්තරයට කීවා. පූජාවක් කරන්න කියලා මෑණියන් කීවා. සාස්තරය අහලා ගෙදර ඇවිත් ඉන්න විට මෙන්න තවත් නාගයෙක් ආවා. පස්සේ පල්ලෙහා දේවාලය කරන කෙනා ඇවිත් මතුරලා පැන් ගහලා නයා එළෙව්වා. අර හැපින්නියට ගහපු අජිත්ගේ ගෙදර මිදුලේ එක් දවසක් රාත්‍රි 10 විතර නාගයෙක් පෙණය පුප්පාගෙන ඉඳලා තියෙනවා" යැයි ඇය පැවසුවා.
මේ නයි කරදරයෙන් බේරීම සඳහා ගම්මු එක්වී පෙරහරකින් දේවාලයකට ගොස් පූජාවක්ද කර තිබුණා. . ගඟේ, දොළේ සහ මුහුදේ වැලි හා පලතුරු ගම්මු පූජාවට රැගෙන ගොස් ඇති අතර දේවාලයේ මෑණියන් විසින් ගමට සෙත්පතා පූජාව සිදු කර තිබුණා. මෙම සුනාමි ගම්මානයේ දේවාලය පවත්වාගෙන යන පුද්ගලයාද ගම්මුන් සමඟ එම දේවාලයට ගොස් තිබුණා. දේවාලයේ මෑණියන් ඔහු කැඳවා තමුන්ගේ අතින් වරදක් වෙලා තියෙනවා. ඒ නිසා ගමට සෙත්පතා පූජාවක් කරන්න යනුවෙන් මෑණියන් මොහුගෙන් ඉල්ලා තිබෙනවා.. පසුව දේවාලයේ මෑණියන් විසින් වැලි හා දෙහි මතුරා ගම්මුන්ට ලබා දී ඇති අතර නිවෙස්වලට යෑමට පෙර දෙහි ගෙඩියක් මිදුලේ වළ දමා දුම් අල්ලා නිවෙස්වලට යන ලෙස මෑණියන් ගම්මුන්ට දී තිබුණා. එමෙන්ම පත්තිනි මෑණියන්ට පූජාවක් කරන ලෙසද ඇය ගම්මුන්ගෙන් ඉල්ලීමක් කළා. මේ පූජාවෙන් පසු සුනාමි ගම්මානයට නාගයන් පැමිණ නැති බවයි දැනගන්නට ලැබෙන්නේ.
කෙසේ වෙතත් ගම්මානයේ දේවාලය පවත්වාගෙන යන පුද්ගලයා පවසා තිබෙන්නේ මෙවැන්නක්.
‘‘මහාභද්‍රකාලී දේවාලයක් තමයි මා කරගෙන යන්නේ. මේ ගමේ විශාල හැපින්නක් හිටියා. ගමේ අයෙක් ඒ හැපින්නියට ගඩොලයකින් ගහලා තියෙනවා. හැපින්නිගේ බඩ යට බිත්තර දෙසීයක් විතර තිබිලා තියෙනවා. පස්සේ නයි අල්ලන කෙනෙක් ඇවිත් මේ හැපින්නිය අල්ලා ගෙන උගේ දළ හතම කඩලා තියෙනවා. මේ හැපින්නි හැව වගේ දෙයක් පිට කරලා තියෙනවා. නයා සහ හැපින්නි ඉඳලා තියෙන්නේ එකට. හැපින්නි අල්ලාගත්තු තරහට නයා තුන් පහරක් පෙණය පොළොවේ ගසාගෙන තියෙනවා.
අර හැපින්නියට ගහපු කෙනාගේ ගෙදරට ඊට පසු නයි දෙන්නෙක් ආවා. ඒ නයි දෙන්නත් ඇල්ලුවා. පස්සේ රාත්‍රි 10ට විතර තවත් නාගයෙක් ආවා. මේ ආකාරයට එයාගේ වත්තට නයි පස් දෙනෙක් ආවා. ඒ නයි පස්දෙනාම නයි අල්ලන අය විසින් ඇල්ලුවා. ගමේ අයෙක් දේවාලයට ඇවිත් සාස්තරයක් ඇහුවා. ඒ සාස්තරයට කීවා මේ හැපින්නිය දිගු කාලයක් තිස්සේ ගමේ ඉඳලා තියෙනවා. ඌ අල්ලාගත්තු තරහට තමයි නාගයන් ඇවිත් තියෙන්නෙ කියලා. දේවාලය අසල නිවෙසකටත් නාගයෙක් ආවා. පස්සේ මම සූනියම් ගාථාව කියලා මතුරලා නාගයා පිටත් කළා. ගමේ අයටත් මා කීවා ඔය ප්‍රශ්නය මම විසඳලා දෙන්නම් දේවාලයට එන්න කියලා. නමුත් ඒ අය දේවාලයට එනවා කියලා වෙනත් දේවාලයකට ගිහිල්ලා.
ඒ දේවාලයට ගිය විට සූනියම් පහනක් ගැන කියලා තියෙනවා. ගම්මුන්ට මතක් වෙලා තියෙන්නේ අපේ දේවාලය. ඇත්තටම අපේ දේවාලයෙන් එහෙම දෙයක් වෙලා නැහැ. අසල අයෙක් සූනියම් පහනක් පත්තු කරනවා. ඉඩම් ආරවුලක් ගැනත් ඒ දේවාලයෙන් කියලා තියෙනවා. මෙතැන නයි බන්ධනයක්වත් අපේ දේවාලයෙන් වූ වරදක් නිසා නෙවෙයි නයි ආවේ. අර හැපින්නිය අල්ලාගෙන ගිය නිසා. ඒ වෛරයට තමයි නයි ආවේ. ගම්මුන් තුළ ඇති වුණේ වැරැදි අවබෝධයක්. පසුව ඒ අය ඇවිත් සමාවත් ගත්තා. ඇත්තටම නයි අල්ලන්න මටත් පුළුවන්. සූනියම් ගාථාව කියලා මා එහෙම නයෙක් අල්ලා තියෙනවා.
මා කීවා හැපින්නිය ගෙනැත් දෙන්න කියලා. නමුත් නයි අල්ලපු කෙනා හැපින්නි ගෙනත් දෙන්න රුපියල් දසදහසක් ඉල්ලුවා. හැපින්නිය අල්ලපු අය තමයි මේ වරද කළේ. ඔය නාග බන්ධන කතාව බොරු. හැපින්නි අල්ලාගෙන ගිය වෛරය නිසා තමයි නයි ආවේ. මගේ දේවාලයෙත් කාලයක් සුදු නාගයෙක් හිටියා. මම ආරූඪ වන විට ඒ නාගයා සූනියම් පහන දිගේ බැහැල යනවා. ඇත්තටම මේ ගම්මානයේ තවමත් තේ, රබර් වතු තියෙනවා. ඒවායේ නාගයන් ඉන්නවා' ඔහු පවසා තිබුණේ එවැන්නක්.