පසුගියදා ගම්පොළ ප්‍රදේශයේදී ව්‍යාපාරිකයකු සතු රුපියල් ලක්‍ෂ 30 ක් මංකොල්ල කෑමට ගොස් මහමඟ සිටි තරුණයින් පිරිසක් ඔවුන්ව ලුහුබැඳ ගොස් අල්ලාගත් සිද්ධියක් අප ඔබ වෙත ගෙන ආවා. එම සිද්ධියේ ප්‍රධාන සැකකරු වාලම්පුරියක් ලබා දෙන බව පවසා තවත් ව්‍යාපාරිකයකු රවටා ඔහුටද පහරදී රුපියල් ලක්‍ෂ 30 ක් මංකොල්ල කෑවයි මේ වන විට පැමිණිල්ලක් ලැබී තිබෙනවා.
ඒ පැමිණිල්ලකට අනුව මහනුවර විශේෂ අපරාධ විමර්ශන අංශ නිලධාරීන් ගම්පොලට පැමිණ එම සැකකරු නැවත අත්අඩංගුවට ගෙන ඇති බවටයි වාර්තා වෙන්නේ. ඔහු එලෙස අත්අඩංගුවට ගෙන අත්තේ පෙර සිද්ධියට අධිකරණයෙන් ඇපලබා පිටව යන අවස්ථාවේදීයි.
මීට මාස 5 කට පෙර උඩුනුවර දවුලගල ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුට සැකකරු වාලම්පුරියක් විකිණීමට ඇති බව පවසා ඔහු මහනුවර ප්‍රදේශයට කැඳවා රුපියල් ලක්‍ෂ 30 මංකොල්ලකා තිබිණි.
ඒ අතර පසුගිය 22 දින ගම්පොල ප්‍රදේශයේදී මෝටර් රථයකින් පැමිණි ව්‍යාපාරිකයන් දෙදෙනකුට පහරදී ඔවුන් සතුව තිබූ රුපියල් ලක්‍ෂ 30 ක් කොල්ල කා මෝටර් රථයකින් ගම්පොල පුපුරැස්‌ස දෙසට පලා යමින් සිටි මංකොල්ලකරුවන් හා ඔවුන්ගේ මෝටර් රථය ගම්පොල දැල්පිටිය ප්‍රදේශයේ තරුණයන් පිරිසක් විසින් අල්ලා ගම්පොල පොලිසියට භාරදී තිබුණි.
එම සැකකරුවන් මෙහෙයවූ මංකොල්ලය හා සැකකරුවන්ගේ දර්ශන විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යයෙන් පළවීමත් සමඟ ඔවුන් හඳුනාගත් දවුලගල ප්‍රදේශයේ ව්‍යාපාරිකයා ඒ බව මහනුවර විශේෂ අපරාධ විමර්ශන අංශ නිලධාරීන්ට දන්වා තිබේ.
මේ අතර පසුගිය 22 දා ගම්පොලින් අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනෙකු ගම්පොළ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔවුන් දින 14 ක් රක්‌ෂිත බන්ධනාගාර ගත කර තිබුණි. පසුව ගම්පොළ මහෙස්‌ත්‍රාත් විනෝදනී මීගොඩ මහත්මිය ඔවුන්ට ඇප ලබාදුන්නාය. එසේ ඇප ලබා ඔවුන් පිටව යනවාත් සමඟම මහනුවර විශේෂ අපරාධ විමර්ශන අංශ නිලධාරීන් ගම්පොලට පැමිණ ඇප ලබා අධිකරණයෙන් පිටවූ ප්‍රධාන සැකකරු සමඟ තවත් අයෙකු නැවත අත්අඩංගුවට ගෙන ඇත. ඒ මීට පෙර වාලම්පුරියක් ලබා දෙන බව පවසමින් සිදුකරන ලද ලක්‍ෂ 30 ක මුදල් කොල්ලයක් සම්බන්ධයෙනි.
අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් ධනවත් ව්‍යාපාරිකයන් විවිධ අයුරින් රවටා ඔවුන් සතු මුදල් පැහැර ගන්නා කණ්‌ඩායමක් බව හඳුනාගෙන ඇත. මොවුන් සතුව තිබී විවිධ වර්ගයේ මැණික් ගල් 11 ක්‌ද ගම්පොල පොලිසිය මගින් සොයා ගෙන තිබුණි.