සංචාරක පාකිස්ථාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර ගාල්ල අන්තර් ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවන ඉනිමට පන්දුවට පහර දෙමින් සිටින පාකිස්ථාන කණ්ඩායම තරගයේ සිව්වන දිනය නිමා වන විට කඩුළු තුනක් දැවී ලකුණු 222ක් ලබා හොඳ ස්ථාවරයක පසුවනවා.
ඒ අනුව පාකිස්ථාන කණ්ඩායමට මෙම තරගය ජය ගැනීමට ලබා ගත යුත්තේ තවත් ලකුණු 120ක් පමණි.
ඒ සඳහා තවත් කඩුළු 7ක් ඔවුන් අතැතියි..
පාකිස්ථාන කණ්ඩායමේ ආරම්භක කඩුල්ල ලෙස ඉමාන් උල් හක් දැවී ගියේ ඔහුගේ අනවධානයත් ශ්‍රී ලංකා කඩුළු රකින ක්‍රීඩක නිරෝශන් දික්වැල්ලගේ අවධානයත් නිසාවෙන්.
එම අවාසනාවන්ත දැවීයාමට ඉමාන් උල් හක් හසු වන විට ඔහු ලකුණු 35ක් ලබා සිටි අතර පාකිස්ථාන ලකුණු පුවරුව දැක් වුණේ ලකුණු 87ක් වශයෙන්.
ඉන් අනතුරුව පාකිස්ථාන කණ්ඩායමේ දෙවන කඩුල්ල ලෙස අසාර් අලී දැවී ගියා.
පසුව පිටියට එක් වූ නායක බාබර් අසාම් ආරම්භක පිතිකරු අබ්දුල්ලා ශෆීක් සමගින් එක්ව පාකිස්ථාන ඉනිම වඩා හොඳ ස්ථාවරයකට ගොඩ නැගුවා.
ඒ අනුව ඔවුන් දෙදෙනා අතර ලකුණු 101ක සබඳතාවක් ගොඩ නැගුණා.
ප්‍රභාත් ජයසූරිය යොමු කළ පන්දුවක් හමුවේ නොසිතූ ආකාරයෙන් නායක බාබර් අසාම් දැවී ගිය අතර ඔහු දැවී යන විට ලබා ගෙන සිටි ලකුණු ගණන 55ක්.
අනතුරුව පාකිස්ථාන සුපිරි පිතිකරු මොහොමඩ් රිස්වාන් පිටියට පිවිසි අතර ඔහුව පළමු පන්දුවෙන් ම දවාගැනීමට වූ අවස්ථාව නිරෝෂන් දික්වැල්ල අතින් ගිලිහී ගියා.
කෙසේ නමුත් තරගය අද දිනයට නතර කරන විට පාකිස්ථාන කණ්ඩායමේ ආරම්භක පිතිකරු අබ්දුල්ලා ශෆීක් කඩුල්ලේ රැඳෙමින් ලකුණු 112ක් ලබා සිටිනවා.
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ප්‍රභාත් ජයසූරිය ලකුණු 89කට කඩුළු දෙකක් ලබා සිටින අතර, රමේෂ් මෙන්ඩිස් එක් කඩුල්ලක් දවා ගෙන සිටිනවා.
හෙට තරගයේ සිව්වැනි දිනයයි.