ඒ සඳහා මේ වන විට අපේක්ෂකයන් සිවු දෙනෙකු නාම යෝජනා භාර දී අවසන්.
ඒ සඳහා එක්සත් ජාතික පක්ෂ නායක, වත්මන් වැඩ බලන ජනපති රනිල් වික්‍රමසිංහ, සමඟි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ජාතික ජන බලවේගයේ හා ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඩලස් අලහප්පෙරුම ඉදිරිපත් වීමට නියමිත යි.
මේ දැක්වෙන්නේ, තත් අපේක්ෂකයන්ගේ පාර්ලිමේන්තු ක්‍රියාවලියේ ඉතිහාසය පිළිබඳ සැකවින් කළ කරුණු දැක්වීමක්
වැඩ බලන ජනපති රනිල් වික්‍රමසිංහ
රනිල් වික්‍රමසිංහ මේ වන විට පසු වන්නේ, හැත්තෑ තුන් වැනි වියේ වන අතර, අපේක්ෂකයන් අතරින් මහලු ම අපේක්ෂකයා ඔහු යි.
2020 පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් ඔහු තරග කළ එක්සත් ජාතික පක්ෂයට කිසිදු ආසනයක් දිනා ගැනීමට නො හැකි වූ අතර, රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවට පිවිසෙන්නේ, ජාතික ලැයිස්තුවෙන්.
රනිල් වික්‍රමසිංහ මුල් වරට මැති සබයට පිවිසෙන්නේ, 1978 වන අතර, දීර්ඝ ම පාර්ලිමේන්තු ඉතිහාසයට හිමිකම් කියන්නේ ද රනිල් වික්‍රමසිංහ යි.
17 වැනි ව්‍යවස්ථා සශෝධනයට රනිල් වික්‍රමසිංහ පක්ෂ ව ඡන්දය ප්‍රකාශ කළ අතර, 18 වැනි ව්‍යවස්ථා සශෝධනයට පක්ෂ ව වත් විපක්ෂ ව වත් ඡන්දය ලබා දී නෑ.
19 වැනි ව්‍යවස්ථා සශෝධනයට රනිල් වික්‍රමසිංහ පක්ෂ ව ඡන්දය ලබා දී ඇති නමුත් 20 වැනි සංශෝධන ඡන්ද විමසීම සිදු කරද්දී ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු නො වෙ යි.
සජිත් ප්‍රේමදාස
සජිත් ප්‍රේමදාස මේ වන විට පනස් පස් වැනි වියේ පසු වනවා.
සමඟි ජන බලවේගයේ හා විපක්ෂ නායක යන තනතුරු දෙකේ කටයුතු කරන සජිත් ප්‍රේමදාස, පළමු වරට පාර්ලිමේන්තුවට පිවිසෙන්නේ, 2000 වර්ෂයේ දි යි.
ඒ හම්බන්තොට දිස්ත්‍රික්කය නියෝජනය කරමින්.
අවසන් වරට පැවති 2020 මහ මතිවරණයෙන් ඡන්ද 305,744ක් ලබා ගැනීමට සජිත් ප්‍රේමදාසට හැකි වුණා.
සජිත් ප්‍රේමදාස 17 සහ 19 යන ව්‍යවස්ථා සංශෝධන සඳහා පක්ෂ ව ඡන්දය ලබා දුන් අතර, 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය සඳහා ඡන්දය භාවිත කර නෑ.
20 වැනි ව්‍යවස්ථා සශෝධනය සඳහා සජිත් ප්‍රේමදාස විපක්ෂ ව සිය කතිරය භාවිත කළා.
අනුර කුමාර දිසානායක
අනුර කුමාර දිසානායක මේ වන විට පසු වන්නේ, පනස් තුන් වැනි වියේ වන අතර, අපේක්ෂකයන් සිවු දෙනා අතරෙන් ළාබාලතම අපේක්ෂකයා වන්නේ ද ඔහු යි.
ඔහු මුල් වරට මැති සබයේ ආසනයක් වෙන් කර ගන්නේ, 2000 වර්ෂයේ වන අතර, 2020 මහ මැතිවරණයෙන් කොළඹ දිස්ත්‍රික්කය යටතේ තරග කර මනාප 49,804ක් ලබා ගත්තා.
ඒ, ජාතික ජන බලවේගයේ වැඩි ම මනාප ලබා ගත් අපේක්ෂකයා ලෙස පාර්ලිමේන්තුවට තේරි පත් වෙමින්.
අනුර කුමාර දිසානායක 17 සහ 19 යන ව්‍යවස්ථා සංශෝධන සඳහා පක්ෂ ව ඡන්දය භාවිත කළ අතර, 18 හා 20 සශෝධන සඳහා ඡන්දය භාවිත කර ඇත්තේ, විපක්ෂව යි.
ඩලස් අලහප්පෙරුම
ඩලස් අලහප්පෙරුම මේ වන විට පසු වන්නේ, හැට තුන් වැනි වියේ යි.
ඔහු 1994 දී පාර්ලිමේන්තුවට පිවිස 2001 දක්වා මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළා.
2020 මහ මැතිවරණයෙන් ඩලස් අලහප්පෙරුම ඡන්ද 103,354ක් ලබා ගැනීමට සමත් වුණා.
ඔහු 17, 18, 19 හා 20 යන සියලු ම ව්‍යවස්ථා සංශෝධන සඳහා ඡන්දය ලබා දී තිබෙනවා.
නව ජනාධිපති තේරීමේ පාර්ලිමේන්තු රහස් ඡන්දය ලබන 20 වැනි දා පැවැත්වෙනු ඇති.