ඊයේ (14) අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ කළ විශේෂ ප්‍රකාශය පිළිබඳව බොහෝ දෙනා අවධානයෙන් සිටියා. ඒ හේතුවෙන් අද දිනයේ ක්‍රියාත්මක කිරීමට තිබූ බස් රථ වර්ජනයද නැවතුණා.
රටේ අනාගතය බිල්ලට දී අනතුරට හෙළමින් බලය රැක ගැනීමේ අරමුණක් තමන්ට නැතැයි ද, රට හැදීමට නොහැකි නම් බලය අතහැරදා යැමට සූදානම් බව ද අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා. අයවැය විවාදය අතරතුරදී විශේෂ ප්‍රකාශයක් කරමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද පවසා සිටියා....
අප ජනවාරි 08 වැනි දා විප්ලවය මගින් අලුත් ගමනකට මුල පිරුවා. අපේ රට පත්ව තිබූ අගාධයෙන් ඉහළට ඔසවා ශීලාචාර, සංවර්ධිත යහපත් දේශයක් බවට පත් කරලීම ඒ ගමනේ අරමුණයි. මෙය ලෙහෙසි පහසු ගමනක් නෙවෙයි. අසීරු ගමනක් දුෂ්කර ගමනක්. මෙහිදී අපට මුහුණු දෙන්නට තියෙන්නේ දැවැන්ත අභියෝගයන්ට.
ඒ ගමනේදී අපට අප ගැන සිතනවාට වඩා රට ගැන සිතන්න වෙනවා. රට වෙනුවෙන් යම් යම් කැපවීම් කරන්නට සිදු වෙනවා. අප එසේ කළ යුත්තේ රට යහපත් තත්ත්වයකට ඔසවා තබන්නටයි. රටේ අනාගතය සුරක්‍ෂිත කරන්නටයි. රටේ අනාගත පරපුරේ ආරක්‍ෂාව සලසන්නටයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුව අමතා ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශයේත්, මා ඉදිරිපත් කළ ආර්ථික ප්‍රතිපත්ති සැලසුමේත්, මුදල් ඇමැතිතුමා ඉදිරිපත් කළ අයවැය කතාවේත් අරමුණ වූයේ එයයි.
අප බලයට පත් වූයේ රටේ ජනතාව වෙනුවෙන් සේවය කරන්නටයි. රටේ ජනතාව අප වෙතින් බලාපොරොත්තු වන්නේ රටේ අනාගතය වෙනුවෙන් යහපතක් සිදුකිරීමයි. රට වෙනුවෙන් තීරණ ගැනීමේදී අප පළමුවත්, දෙවනුවත්, තෙවනුවත් සිතන්නේ රට ගැනයි. රටේ අනාගතය ගැනයි.
එක්‌සත් ජාතික පක්‍ෂයත්, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයත් එක්‌ව ජාතික ආණ්‌ඩුවක් පිහිටුවූයේත් රටේ අනාගතය වෙනුවෙන් සාධනීය පියවර ගන්නයි. රටේ මූලික ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙන්නයි. රට හදන්නයි ජනාධිපතිතුමා සියලු කැපවීම් කරන්නේ ඒ නිසයි.
මගේ දේශපාලන ජීවිතය ගත්තොත් බලයේ ඉඳලත් තියෙනවා. බලය නැතුව විපක්‍ෂයේ ඉඳලත් තියෙනවා. මම බලය පාවිච්චි කරන්නේ රට හදන්නයි. පුද්ගලික න්‍යාය පත්‍ර ඉටු කර ගන්න නෙවෙයි. බලය පාවිච්චි කර රට හදන්න බැරිනම්, බලය අතහැරදා යන්නට මම සූදානම්. රට බිල්ලට දී රටේ අනාගතය අනතුරේ හෙළමින් බලය ආරක්‍ෂා කර ගැනීමේ අරමුණක් මට නැහැ.
ඒ නිසා බලය ආරක්‍ෂා කර ගැනීම ගැන සිතමින් ජනප්‍රිය තීරණ පමණක් ගැනීමට අප ක්‍රියා කරන්නේ නෑ. රටේ අනාගතය වෙනුවෙන් ගත යුතු ජනප්‍රිය නොවන තීරණ ද ගැනීමට අප පසුබට වෙන්නේ නෑ. අප ගන්නා සමහර තීරණ වර්තමානයේ ජනප්‍රිය නොවන්නට පුළුවන්. විවේචනයට භාජනය වෙන්නට පුළුවන්. නමුත් අනාගතයේ කිසියම් දිනෙක අප ගත් තීරණය නිවැරදි බව අනාගත පරපුර කියාවි.