රගර් ක්‍රීඩක මොහොමඩ් වසීම් තාජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් ප්‍රථම පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වන විට වත්මන් අධිකරණ වෛද්‍ය නිලධාරි අජිත් තෙන්නකෝන් ඊට බලපෑම් සිදුකළ බවට හිටපු අධිකරණ වෛද්‍ය නිලධාරි මහාචාර්ය ආනන්ද සමරසේකර මහේස්ත්‍රාත්වරයා වෙත ලිපියක් යොමුකර තිබෙනවා.
කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් වෙත අදාළ ලිපිය යොමුකරමින් ඔහු කියා සිටින්නේ වත්මන් අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාගෙන් අපක්ෂපාතී දෙවැනි පශ්චාත් මරණ පරීක්ෂණයක් බලාපොරොත්තු විය නොහැකි බවයි.
අතිරේක අධිකරණ වෛද්‍ය නිලධාරින් සමඟ 2012 වසරේදී තාජුඞීන්ගේ සිරුර කපා පිලිස්සූ බව දෙවන පශ්චාත් මරණ පරීක්ෂණය ඇරඹීමත් සමඟ තමා පැවැත්වූ පළමු පශ්චාත් මරණ පරීක්ෂණය ගැන රහස් පොලිසිය තමන් කැඳවා කටඋත්තර ගත් බව ද ඔහු එහිදී ප්‍රකාශ කර තිබෙනවා. එම ප්‍රශ්න කිරීම් වලදී ඇසූ ප්‍රශ්නවලට පරීක්ෂණවලින් හා මුල් වාර්තා පිරික්සීමකින් පසුව උත්තර දිය යුතු බවයි ඔහු අධිකරණයට දන්වා ඇත්තේ.
ඒ හේතුවෙන් අධිකරණයට ද පිටපත් සහිතව තමාට ප්‍රශ්නාවලියක් ඉදිරිපත් කරන ලෙස රහස් පොලිසිය දැන් වූ බවත් රහස් පොලිසිය එය ප්‍රතික්ෂේප කළ බවත් ඔහුගේ ලිපියේ වැඩිදුරටත් සඳහන් වනවා.
2013 වසරේ ජූනි 3 වනදා තමා විශ්‍රාම යනවිට තමන් සතුව තිබූ වාර්තාවල මුල් පිටපත් රැගෙන ගිය බවත් සෙසු වාර්තා කාර්යාලයේ තිබූ බවත් දෙවන පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා වත්මන් අධිකරණ වෛද්‍ය නිලධාරියා ඇතුළු පිරිසක් තාජුඩීන්ගේ සිරුර ගොඩගත් බවත් තමා යටතේ, තමාගේ දෙවැනියා ලෙස සේවය කළ වත්මන් අධිකරණ වෛද්‍ය නිලධාරියා පරිපාලන කටයුතු සම්බන්ධයෙන් නිරන්තරයෙන්ම එකඟ නොවූ බවත් මහාචාර්යවරයා එම ලිපියේ සඳහන් කර තිබෙනවා.