අනියම් සැමියා සමග පැනගොස් සැඟව සිට තමන් පැහැරගෙන ඇතැයි සැමියාට ඇමතුම් ලබා දී කප්පම් ඉල්ලූ කාන්තාව හා එම සැකකාර අනියම් සැමියා අත්අඩංගුවට ගැනීමට කුලියාපිටිය කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයට හැකි වී ඇති පුවතක් පිළිබඳව මේ වන විට වාර්තා වෙනවා.
හෙට්ටිපොල ප්‍රදේශයේ පදිංචි කෘෂිකර්ම රක්‍ෂණ කළමණාකාරවරියක් වූ දෙදරු මවක් මෙසේ අත්අඩංගුවට පත් වී තිබෙනවා.
ඇය හලාවත ප්‍රදේශයේ සිට අනුරාධපුරයට ගෙනගොස් සිටි අනියම් පෙම්වතා වූ මඩකලපුව කලවංචිකුඩි ප්‍රදේශයේ සේවයේ නියුතු හමුදා සෙබලාද මේ වන විට අත්අඩංගුවට පත්ව ඇත. ඒ ඔහුට අයත් අනුරාධපුර නිවසේදීයි.
අත්අඩංගුවට පත් සැකකාර කාන්තාව පෙරේදා අළුයම කිසිදු වෙලූමකින් තොරව නිදැල්ලේ සිට ඇත. පසුව ඇය තම මිතුරියකගෙන් ලබාගත් ණය මුදලක් ගෙවීමට දුරකථනයෙන් ගෙන්වාගත් අනියම් සැමියා සමග එක්ව යතුරුපැදියෙන් කහටගස්දිගිලිය මහපොතානේගම පන්වැල්ල ප්‍රදේශයේ නිවසකට ගොස් ඇත. පසුව තම දුරකථනයෙන් සැමියා අමතා තමන් හෙට්ටිපොල පල්ලිය අසලදී පැහැරගැනීමකට ලක්වූ බවත් තමන් නිදහස් කිරීමට නම් පැහැරගත් පුද්ගලයා රුපියල් ලක්‍ෂ 5ක් ඉල්ලා සිටින බවත් පවසා ඇත.
සැමියා විසින් හෙට්ටිපොල පොලිසියට කළ පැමිණිල්ල මත කුරුණෑගල දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විජයගුණවර්ධන මහතා මගින් කුලියාපිටිය කොට්ඨාශ අපරාධ විමර්ශණ ඒකකයට යොමුකිරීමෙන් පසුව අංශ කිහිපයක් ඔස්සේ පරීක්‍ෂණ සිදුකරමින් ලබාගත් දත්ත තොරතුරු මත දින 4ක් තුළදීම සැකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකිවූ අතර ඉදිරි අධිකරණමය කටයුතු සඳහා හෙට්ටිපොළ පොලිසියට භාරකිරීමට නියමිතය.