හිරු එෆ් එම්, හිරු ටී.වී ප්‍රමුඛ ආසියානු මාධ්‍ය ජාලය උතුම් වූ පොසොන් පුර පසළොස්වක පොහෝ දිනය නිමිත්තෙන් සංවිධාන කරනු ලබන හිරු ශ්‍රද්ධාභිවන්දනා පොසොන් මහා පිංකම අතිවිශාල බැතිමතුන් පිරිසකගේ ආශිර්වාදය යටතේ ඊයේ පැවැත්වුණා. ඒ, සේරුවාවිල මංගල රජමහා විහාරස්ථානයේදියි. විවිධාකාර වූ ආමිස හා ප්‍රතිපත්ති පූජාවන් රැසක් එහිදී සිදු කෙරුණා. මෙම සියලූ කටයුතු සංවිධාන කර තිබුණේ ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ සංකල්පයකට අනුවයි.
බුදුරජාණන් වහන්සේගේ උතුම් වූ ශ්‍රී ලලාට ධාතූන් වහන්සේ නිධන්කර ඇති මංගල මහා සෑ රදුන් අභියස පැවැත්වූ උදෑසන ශීල සමාදාන කටයුතුවලින් හිරු ශ්‍රද්ධාභිවන්දනා මහා පොසොන් පිංකමේ කටයුතු ආරම්භ වුණා.
එම කටයුතු සිදුකෙරුණේ සේරුවාවිල මංගල රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය සේරුවාවිල සරණකිත්ති හිමියන් ප්‍රධාන කර ගත් මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන්.
හිරු ශ්‍රද්ධාභිවන්දනා මහා පිංකමේ තවත් සුවිශේෂී පුණ්‍ය කටයුත්තක් වන්නේ හිරු ශාසනාවතරණය යටතේ, සම්බුද්ධ ශාසනයේ චිරත්ස්ථිතිය උදෙසා කුල දරුවන් පැවිදි කිරීමයි.
පූජ්‍ය ඔලගන්වත්තේ චන්ද්‍රසිරි හිමි
‘‘මම දන්නවා පිරිවෙන්වලට පොඩි හාමුදුරුවන් වහන්සේලා හොයාගන්න කොච්චර අමාරුද කියලා. ඒ අය රැකබලා ගන්න කොච්චර අමාරුද කියලා. එවැනි ශාසනික වශයෙන් තියෙන විශාල අඩුවක් තමයි ඔබ ආයතනය හා සභාපතිතුමා, රේනෝ සිල්වා මැතිතුමා මේ සම්පූර්ණ කරන්නේ. ඒ ස්වාමීන් වහන්සේලාට අවශ්‍යකරන පහසුකම් හා සියල්ල සම්පූර්ණ කරන පිනම ඇති ඔබ සියලු දෙනාම මේ සංසාරයෙන් නිවන් දකින්න.‘‘
‘‘මේ කටයුත්තෙදි දායකත්වය දරන හිරු මාධ්‍ය ජාලයේ සභාපතිතුමා ශාසනයේ පැවැත්ම උදෙසා මේ පිංකම කරන්නේ අවංකවම. කුඩා දරුවෙක්ව, කුල දරුවෙක්ව දෙමාපියන්ගෙන් අරගෙන ගුරු හාමුදුරුවන් වහන්සේ නමක් සමීපයේ තියාගෙන අදින් පස්සේ මේ පොඩි හාමුදුරුවන් වහන්සේගේ සියළු කටයුතු පිළිබඳව අධ්‍යපන කටයුතු, සෞඛ්‍ය කටයුතු, නවාතැන් පහසුකම්, සිව්රු පිරිකර, දෙනවා වගේම දෙමාපියන්ට ගෙවල් දොරවල් හදලා දෙනවා කියන්නේ ලොකු ආනිසන්ස දෙන පිංකමක් තමයි මේ කරන්නේ අද. භික්ෂුන් වහන්සේ නමක් සතු වගකීම ආසියානු මාධ්‍යජාලයේ සභාපතිතුමා හොඳට තේරුම් අරගෙන තියෙනවා. අනෙක් මාධ්‍යජාල වලට සමානව බලද්දි මේතුමා අවංකවම ඒ කටයුත්ත හොඳට කළමනාකරණය කරලා තියෙනවා. මේ ක්‍රියාවලියෙදි දක්වන දායකත්වය සසර ගමන කෙටිකරන පිංකමක් වනවාමයි.‘‘
කුලදරුවන් පැවිදිකිරීම සම්බන්ධයෙන් දෙමාපියන්ගේ පැමිණ සිටි සැදැහැවතුන් දැක්වූ අදහස්...
‘‘ඇත්තටම හිරු මාධ්‍ය ආයතනයේ අපේ දරුවන් අරගෙන ශාසනයට පූජා කිරීම ගැන හිරු මාධ්‍යජාලයට දහස්වාරයක් ස්තූතිවන්ත වෙනවා. මේ වගේ සභාපතිතුමාලා වැඩි වැඩියෙන් බිහිවෙන්න කියලයි ප්‍රාර්ථනා කරන්නේ.‘‘
‘‘තමන්ගේ දරුවා නෑ කියන දුක විතරයි තියෙන්නේ අද. නැත්තම් ඔබලා කරපු මේ ප්‍රතිසත්කාරය ගොඩාක් සතුටින් ප්‍රකාශ කරනවා මුළු ලෝකෙටම හිරු කියන්නේ උතුම්ම උතුම් දෙයක් කියන එක.‘‘
‘‘මම ගොඩාක් සතුටු වෙනවා අම්මා කෙනෙක් හැටියට දරුවෙක් මේ ලෝකෙට බිහිකරලා ශාසනේට පූජා කරන්න ලැබීම ගැන. ‘‘
කුල දරුවන් පැවිදි කිරීමෙන් පසුව ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ සහභාගීත්වයෙන් දන් පැන් වඩවා 150 නමකට අධික මහා සංඝරත්නය විෂයෙහි සංඝගත දක්ෂිණාවක් පිරිනැමුනා. මීට අමතරව ධර්ම දේශනා සහ කාලීන ධර්ම සාකච්ඡා ඇතුළු වැඩසටහන් රැසක් ඊයේ දවස පුරා සේරුවාවිල පුණ්‍ය භූමියේ හිරු ශ්‍රද්ධාභිවන්දනාවට සමගාමීව සංවිධාන කර තිබීම විශේෂත්වයක්.
මේ අතර, සේරුවාවිල මංගල මහසෑ රදුන් උදෙසා විශේෂ කප්රුක් පූජාවක් ද ඊයේ පස්වරුවේ පැවැත්වුණා. ඒ, ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ සුරතින් ශෛලමය බුද්ධ ප්‍රතිමා වහන්සේ දෙනමක් මංගල මහා සෑ රඳුන් උදෙසා පූජා කිරීමෙන් පසුවයි. අනතුරුව ලක්ෂ සංඛ්‍යාත පිච්ච මලින් මහ සෑ රඳුන් පිදීමේ මහා අධිෂ්ඨාන පූජාව සහ ශබ්ද පූජාව පැවැත්වුණා.