ඇය සුරූපීය, නෙත් කාන්තියෙන් බැබළේ, රෝස තොල් පෙති අතරින් මතුවූයේ මුතුකැට පෙළකි. සම්මුඛ පරීක්‍ෂණයක් නමට තිබ්බද, විසිදෙහැවිරිදි ඒ සුරූපී තරුණිය දුටු මුල් තත්පරයේදීම රැකියාවට තෝරා ගන්නට ව්‍යාපාරිකයා දෙවරක් කල්පනා නොකළේ සිතේ තිබූ අදහසක් නිසයි.
ව්‍යාපාරික කටයුතු අතරේ ටික දිනකින්ම ව්‍යාපාරිකයාගේ අනියම් බිරිඳ වීමට ඒ සුරූපී තරුණියට සිදු වූයේ මුදල් ද, තෑගි භෝගද ව්‍යාපාරිකයා ඇයට තිළිණ කරන්නට වූ පසුවය. හතළිස්‌නව හැවිරිදි මේ ව්‍යාපාරිකයාට මේ මුවැත්තිය පෙනුණේ පෙර පිනකට පහළ වූ සුර දූතියක් ලෙසිනි. දෙදෙනා පෙමින් බැඳුනා.
මුළු ආත්මයම බන්දේසියේ තබා ව්‍යාපාරිකයාට පුදදෙන්නට ඇය පෙළඹුණේ ද පියවරෙන් පියවරයි.
එදා මේ ව්‍යාපාරිකයා වැල්ලවත්තට ආවේ ද මේ කියන සුරූපී, දඟකාර, කෙළිලොල් තරුණියද මෝටර් රථයේ වාඩිකරවාගෙනය. මොවුන් මේ හෝටලයට ආවේ පුරුදු තැන එතැන නිසයි.
දෙදෙනා හෝටල් කාමරයට වැදී දොර වසාගත්තේ ද නොඉවසිල්ලෙන්.
මේ මෝටර් රථය හෝටලයට පිවිසෙන අයුරුත්, හතළිස් නව හැවිරිදි ව්‍යාපාරිකයා මේ බාල වයසේ තරුණිය තුරුලු කරගෙන හෝටල් කාමරයට යන අයුරු කිසිවකු බලා සිටින වගක් ඔවුන්ට දැනුණේ නැත.
ඔවුනගේම ලෝකයක තනි වී ඇති තරම් සතුටු වූ පසු මේ දෙදෙනා හෝටල් කාමරයෙන් එළියට පිවිසියේ අලුතින් දැමූ මේකප් ද තවත් සකසමින්.
“අන්න අරුන් දෙන්න කාරෙකට නඟිනවා.” මොවුන්ගේ හොර ගමන නිරීක්‍ෂණය කරමින් සිටි අයකු තවකෙකුට කීවේ දුරකථන ඇමතුමක් දෙමින්.
“හරි… අපි රෙඩි” අනෙක් කෙළවරේ සිටි පුද්ගලයා කීවේ මෝටර් රථය පණගන්වන ගමන්.
මේ කියන හතළිස් නව හැවිරිදි ව්‍යාපාරිකයාත්, විසි දෙහැවිරිදි පෙම්වතියත් සතුටින් ඔවුන් පැමිණි කාරයට නැඟී, හෝටලයෙන් එළියට එමින් සිටියා.
ඔවුන් සිටියේ ඔවුන්ගේ ලෝකයේයි.
“බබී මම ඔයාව ගෙදරටම ගිහින් දාන්නම්” මෝටර් රථය වැල්ලවත්තෙන් මිදී ඉදිරියට ධාවනය වන්නට වුණා.
ඔවුන් පසුපස ලුහුබඳින පිරිසක් සිටින වග මේ ව්‍යාපාරිකයා දැන සිටියේ නැත.
“ගුඩ් බායි” දෙදෙනා සමුගත්තේ මෝටර් රථයෙන් බැස යන්නට පෙර අවසන් වරටත් උණසුම් හාදුවක් දීමෙන් පසුවයි.
මේ සියල්ලම බලා සිටි පිරිසක් සිටි වග ඒ වනතුරුම ව්‍යාපාරිකයා හෝ පෙම්වතිය දුටුවේ නැත.
ව්‍යාපාරිකයා මෝටර් රථය හරවාගෙන ඔහුගේ නිවසට යමින් සිටියා.
මෝටර් රථය තුම්මුල්ල හන්දිය වෙතට එනවිටත්, ඔහු ලුහුබඳිමින් තිබූ මෝටර් රථය තිබුණේ ව්‍යාපාරිකයාගේ මෝටර් රථයට පිටුපසිනි. සැණින් පිටුපස තිබූ මෝටර් රථය පැමිණ ව්‍යාපාරිකයාගේ මෝටර් රථය පසුකර ඉදිරියෙන් නතර කෙරුණා.
මිස්‌ටර් පොඩ්ඩක් කාරෙක නතර කරන්න. බිමට බැසගත් එකෙකු ව්‍යාපාරිකයා ගමන්ගත් මෝටර් රථය නතර කළේ අතින් සංඥ කරමින්.
“අපි තමුන්ව වැල්ලවත්තෙ ඉඳලම ෆලෝ කළා.”
“ඇයි මොකද?” ව්‍යාපාරිකයා තැති ගත්තේ වැල්ලවත්ත ගමන පිළිබඳ කී නිසායි.
“අපි වලාන දූෂණ මර්දන පොලිසියෙන්”
“ඇයි මොකද?” ව්‍යාපාරිකයා විමසා සිටියා.
“තමුන් බාල වයස්‌කාර තරුණියක් එක්‌ක හෝටලේ බුදියගන්න එක වරදක් නෙවෙයිද? තමුසෙල වගේ මිනිස්‌සු ගැන හොයන එක අපේ රාජකාරිය.
“අනේ ප්ලීස් සර්. මේක අපි කතාකරලා බේරගමු” ව්‍යාපාරිකයාට කියවුණා.
එකෙකු දුරකථනය අතට ගත්තේ “නෑ නෑ රටේ අපචාර දූෂණ මඬින එක අපේ රාජකාරිය පවසමින්.“චීෆ් මෑන් අල්ල ගත්තා.” දුරකථනයෙන් ඔහු කතා කළේ පොලිස් ප්‍රධානියාට යයි ව්‍යාපාරිකයාට වැටහුණා.
“නෑ සර්. මේක දුරදිග ගියොත් ප්‍රශ්න ගොඩයි. මම කොහොමද ගෙදර අයට, නෑදෑයන්ට මුහුණ දෙන්නෙ. වස ලඡ්ජාවක්‌නෙ වෙන්නෙ. ගොඩින් බේරගමු” ව්‍යාපාරිකයා ආයාචනා කර සිටියා..
“දැන්ද ගෙදර අය ගැන ලඡ්ජා හිතෙන්නෙ” පොලිස් භාෂාවෙන්ම පෙරළා ප්‍රශ්න කෙරුණා.
“හරි තමුන්ට මේ ප්‍රශ්නෙ ගොඩින් බේර ගන්න ක්‍රමයක් තියෙනවද?”
“කියන්න මම ඕනෑ දෙයක් කරන්නම්” ව්‍යාපාරිකයා කීවේ බියෙන්.
“තමුන් මොනවද කරන්නේ”
“බිස්‌නස් සර්”
“එහෙනම් සල්ලි වලින් ප්‍රශ්නයක් නෑනේ” පොලිස් භාෂාවෙන් ප්‍රශ්න ඇසිණි.
“හරි අපිට රුපියල් ලක්‍ෂයක් දෙනවා වැඩේ ඉවරයිනේ.” ගනුදෙනුව ආවේ ඒ විදිහටයි.
“මගෙ ළඟ එච්චර සල්ලි දැන් නෑ සර්. ව්‍යාපාරිකයා කීවේ මුදල් පසුම්බිය දිගහැර පෙන්වමින්.
“සල්ලි අතේ නැත්නම් ඔය චේන් එක තියෙන්නේ. ඒක උගස් කරලා සල්ලි දෙනවා” ව්‍යාපාරිකයාට ගැලවීමට ඇති එකම මඟ මේ ඉල්ලන මුදල් දීම යෑයි ඒ වනවිටත් අවබෝධ වී තිබුණා.
ව්‍යාපාරිකයා ලැඡ්ජාව වසා ගැනීමට ඇති එකම මග එය වූ නිසා ළඟම තිබූ බැංකුවකට ගොස් ගෙල බැඳ තිබූ ලක්‍ෂ ගණනක් වටිනා චේන් පට උගසට තබා රුපියල් 1,20,000 ක් ගෙනැවිත් වලාන පොලිසියේ යෑයි කියාගත් තිදෙනා අත තබා ඔවුනට සමුදී යන්නට ගියා.
සිද්ධිය එලෙස විසඳුණ ද ව්‍යාපාරිකයාගේ සිත යට මේ ගිනිගොඩ වරින් වර ඇවිළී සිතට වද දෙන්නට වුණා.
දිනක් මොහුට පොලිසියේ මිතුරකු මුණගැසුණු අතර කලක් තිස්‌සේම ගජ මිතුරකු වූ ඔහුට මේ සිද්ධිය කිව යුතු බව ව්‍යාපාරිකයාට සිතුණේ ද ඒ සිද්ධිය සිතට දිගින් දිගටම වද දෙන්නට වූ නිසායි.
මොන පිස්‌සුවක්‌ද? පොලිසියේ එහෙම යුනිට් නෑ. අවුරුදු දහඅට පිරුණු කෙල්ලක් අරන්, අකැමැත්තක් නැත්නම් හෝටලයකට යන්න පොලිසියෙන් අවසර ගන්න ඕනේ නෑ, උඹ කාට හරි රැවටිලා. පොලිස් නිලධාරියා කී දෙයින් ව්‍යාපාරිකයාට කර කියාගන්නට දෙයක් නැති වුණා.
බම්බලපිටිය පොලිසියට පැමිණිල්ල ආවේ ඊට පසුවයි.පැමිණිල්ල පොලිස් පොතේ ලියවුණා.කොළඹ අපරාධ කොට්‌ඨාසය සිද්ධිය පිළිබඳ පරීක්‍ෂණ ආරම්භ කළේ අපරාධ හා සැලසුම් සහගත කොල්ලකෑම් පිළිබඳ විමර්ශන කර ඇති පළපුරුද්දට අනුව කදිම සැලසුමක්‌ද සකසමින්.
මුලින්ම කළේ පොලිස් නිලධාරීන් ආ මෝටර් රථයේ තොරතුරු සෙවීමය. මෝටර් රථයේ අංකය, සොයාගත් පොලිසිය ඒ ඔස්‌සේ කළ පරීක්‍ෂණයට අනුව වත්තල ප්‍රදේශයේ වාහන කුලියට දෙන ස්‌ථානයක වාහනය තිබෙන බව සොයා ගැනුණා.
වාහන කුලියට ලබාදෙන ව්‍යාපාරිකයා පොලිසියට ගෙන්වා කට උත්තර ගත්තේ ඊට පසුවයි.අදාළ දවසේ වාහනය ඒ අනුව වාහන කුලියට දෙන ස්‌ථානයේ හිමිකරු පොලිසියට කැඳවීම සිදු වුණා.ඒ අනුව කුලී රථය රැගෙන ගිය පුද්ගලයාගේ පැටිකිරිය පොලිසිය අතට පත්වුණා.ඔහුගේ දුරකථන අංකයද පොලිසිය අතට පත් වුණේ එලෙසයි.
”අපි පොලිසියෙන්. තමුන්ට එරෙහිව පොලිසියට පැමිණිල්ලක් ලැබිලා තියෙනවා. අහවල් දවසේ පොලිසියට එන්න” එම පුද්ගලයාට දැනුම් දුන්නේ ඒ අනුවයි.
මිතුරු පොලිස් නිලධාරියකු සමඟ අපරාධ කොට්‌ඨාසයට සැකකරු ගියේ මොන ප්‍රශ්නය වුවත් ගොඩින් බේරා ගැනීමේ චේතනාවෙන්.සියල්ල උඩුයටිකුරු වුණේ පොලිසියේ සිටි රාළහාමි කෙනෙකු මේ කියන සැකකරු හොඳට හඳුනන නිසායි.
“සර්…. අර ඇවිල්ල ඉන්නෙ මම දන්නා පොලිසියේ හිටපු කොස්‌තාපල් කෙනෙක්. මෑන් පොලිසියෙන් අස්‌කළේ කේස් වගයක් හින්දා. සර් මෑන් රොබරි කාරයෙක්” එම රාළහාමි සහකාර පොලිස් අධිකාරිවරයා හමුවේ කියා සිටියා.
පොලිසිය ප්‍රශ්න කරන්නට ගත් පසු සැකකරු සියල්ලම හෙළි කරන්නට වුණා.
“සර්… මම ඇත්තම කියන්නම්”
“කියපන් බලන්න ඇත්ත.”
”මම පොලිසියෙන් අස්‌කළාට පස්‌සෙ ජීවත් වෙන්න ක්‍රමයක් හෙව්වා. මමයි තව දෙන්නෙකුයි එකතුවෙලා හෝටල් කාමරවලට එන සල්ලිකාර හොර කපල් ෆලෝ කළා. මේ එන අයගෙන් බහුතරය බැඳලා පස්‌සෙ වෙන වෙන පොඩි කෙල්ලො අරන් හෝටල් කාමරවලට රිංගනවා. අපි මේ හොර කපල් ෆලෝ කරලා. උන්ව බය කරලා සල්ලි ගත්තා.” සැකකරු පාපොච්ඡාරණය කළේ එලෙසයි.
“ඔව් සර් සමහරු අවුරුදු පනහ පැනපු උන්. උන් අරන් එන්නෙ අවුරුදු දහඅටේ කෙල්ලො. සමහර බැඳපු ගෑනු. තරුණ කොල්ලො එක්‌ක තමයි කාමරවලට එන්නෙ. මුන් සමහරු පෝසත්තු. නැත්නම් කොම්පැණිවල ප්‍රධානීන්. රාජ්‍ය ආයතනවල ඉහළ තනතුරු දරන උන්. අපි පොලිසියෙන්, යමු පොලිසියට කියපු ගමන් උන් බය වෙනවා.”
තමුන් මේ වගේ කප්පම් කීයක් ගත්තද? පොලිසිය තදින්ම ප්‍රශ්න කළ පසු තවත් කරුණු හෙළි වුණා.
රුපියල් 125,000, රු. 120,000 රුපියල් 15,000, රුපියල් 35,000 බැගින් හොර කපල්වලින් මොවුන් ගත් කප්පම් සිද්ධීන් පහක්‌ම පොලිසිය අනාවරණය කරගෙන තිබෙනවා.
කොටහේන, වත්තල, බම්බලපිටිය, වැල්ලවත්ත, කිරිබත්ගොඩ ආදී ප්‍රදේශ ගණනාවකම සැරිසරමින්, ඔත්තුකරුවන්ද යොදාගෙන මොවුන් තිදෙනා හොර කපල්වලින් කප්පම් රැගෙන ඇතැයි අනාවරණය වුණා.
මේ හිටපු පොලිස් කොස්‌තාපල්වරයාට අමතරව සිටි එක් අයකු කලක් ජපානයේ රැකියා කර, ඒ මුදල්ද කාබාසිනියා කරගෙන මෙම කප්පම් කල්ලියට සම්බන්ධ වූ අයෙක් බව ද හෙළිවී තිබෙනවා.
අනෙක් පුද්ගලයා කෝටිපති ව්‍යාපාරිකයකුගේ පුතෙක් වන අතර ඒවන විට කෝටිපති ව්‍යාපාරික පියා මිය ගොස් සිටියා.ඔහු හරි හම්බ කළ මුදල් මොහු කැසිනෝ සූදුවට දමා ව්‍යාපාර බංකොලොත් කරගෙන සිටි අතර මේ තිදෙනාම මිතුරන් වී ඇත්තේද කැසිනෝ ශාලාවලදී මුණගැසී දැන හඳුනා ගැනීමෙන්.
මේ කාමරවලට එන අයගෙන් සියයට අනූවකට වඩා වැඩි පිරිසක් කසාද බැඳලා දරු මල්ලන් සිටින අයයි. ඇතැම් පිරිමින් අවුරුදු පනහ ඉක්‌මවූ අයයි. ඔවුන් රැගෙන එන්නේ වයස අවුරුදු දහඅට, දහනවය වයසේ තරුණියන්. සමහරුන්ගේ ලිංගික අවශ්‍යතා විකෘති ඒවාය.මේ එන තරුණියන් ඇතැම් විට එන්නේ මුදලට, තෑගිභෝගවලට රැවටීමෙන් බවයි පැවසෙන්නේ.
තවත් අය එන්නේ ආයතනයේ බොස්‌ගෙන් රැකියාව බේරා ගැනීමටයි. තවත් අය එන්නේ තිබෙන දැඩි ලිංගික අවශ්‍යතා පිරිමසා ගැනීමටයි.මේ වර්ගයේ කප්පම් කල්ලි තවත් සිටින්නට බැරිකමක් නැත.
දැන් ඇත්තේ අනියම් ප්‍රේමය මුලට පැමිණ නියම ප්‍රේමය දෙවැනි තැනට වැටීමයි.රටපුරා, වෙරළ ආශ්‍රිතව හෝටල් කාමර ඉදිකරන හැටියෙන්ම කාමරවල අවශ්‍යතාව පෙනේ. මේවාට රිංගන්නට තරුණියන් අවශ්‍යය. අනියම් ප්‍රේමය මේ හැටි සමාජ ගත වන්නේ ඒ අවශ්‍යතාව වෙනුවෙන් බව පොලිසියේ අදහසයි.
අපි මේ සටහන තබන්නේ හෝටල් කාමරවල ලිංගික ජවනිකා පෙන්වා පෙන්වීමට නොවන වගද කිව යුතුයි.සමාජය කනපිට හැරී ඇති අතර මේ හෝටල් කාමරවලට එන හොර ජෝඩු වලින් කප්පම් ගත් උදවියගෙන් හෙළි වූයේ ඒ සමාජ සෝදාපාළුව බව අපේ හැඟීමයි.