මං ජීවිතේ ගොඩාක් දුක් විඳලා තමයි මේ ගමන ආවේ. ඒ කාලේ අපිට තිබුණෙ නැහැ හොඳට අඳින්න කරන්න. හොඳ සපත්තු තිබුණේ නෑ. තාත්තට විදියක් තිබුණෙ නෑ ඒවා අරන් දෙන්න. ඒ කාලේ තිබුණා කට්ට සෙරෙප්පු කියලා සෙරෙප්පු ජාතියක්. සත 30යි, 50යි සත 60 තමා වැඩිම එක.
පාට පාට තීන්ත ගාල තියෙන්නෙ. ඕක තමයි දාන් යන්නේ. සපත්තු මේස් දාන අයත් හිටියා. මම නම් දාගෙන ගියේ කට්ට සෙරෙප්පු. ඉතින් මං එනකොට ටකස් ටකස් ගාල සද්දෙ එනවනේ.. කට්ට සෙරෙප්පුනේ.. ඔන්න කට්ටයා එනව කියනවා. ඉතිං ඔහොම ඉන්නකොට ගුවන් විදුලියේ ළමා මණ්ඩපයට යන්න අවස්ථාවක් හම්බවුණා. ඉතිං මාව එක්කන් යන්න අපේ ටීචර් සපත්තු දෙකකුත් අරන් දුන්නා. දැන් සපත්තු දාගන්නත් බෑ ඇඟිලි ඈත් වෙලා…
ඔක්කොම ළං කරලා කොහොම හරි සපත්තු දෙකත් දාගෙන ගියා. ඉතිං ගිහින් කරුණාරත්න අබේසේකරට මාව බාර දීලා කිව්වා සර් මේ අපේ ස්කෝලේ දක්ෂ ළමයෙක්. හරිම දුප්පත්.. මෙයාට පුළුවන්නම් උදව් කරන්න කියලා. දැන් ඉතිං මේ විදියට මං ළමා මණ්ඩපයේ අවුරුදු ගානක් ඉන්නවා. අවුරුදු හතරක් විතර හිටියා. දැන් මණ්ඩපයේ සින්දු කිය කිය ඉන්නකොට අමරදේව සර් ගුවන් විදුලියේ වැඩ. සර් එහේ යනවා මෙහෙ යනවා අපි සින්දු කියනවා බලනවා. ඔහොම ඉන්නකොට එතුමාට හම්බ වුණා ලංකාවෙ පළමුවෙනි වර්ණ චිත්‍රපටය.. මේ කිසිම කෙනෙක් දන්නේ නැති මාව තෝරගත්තා එතුමා මේ චිත්‍රපටයේ ගීත ගායනා කරන්න. ඒ 1962 අවුරුද්ද.. චිත්‍රපටය ආවේ 1964 වුණාට අපි සින්දු කිව්වේ 1962දී.. ඔය විදියට ලංකාවේ පළමු වර්ණ චිත්‍රපටයේ මම ගලන ගඟකි ජීවිතේ ගීතය ගායනා කළා.
ඔහොම ඉන්නකොට ගුවන් විදුලියට එකතු වුණා අද දකිනවා වගේ රියලිටි ෂෝ තරගයක්. ඒකට කිව්වේ එයාෂිප් ගීත තරගය කියලා. ඒ වැඩසටහන නිර්මාණය කළේ ටින්කිරි දැන්වීමකට. අන්තිමට තරග කළා මමයි වික්ටර් රත්නායකයි.. මං දින්නා.. මම එක.. වික්ටර් දෙක.. ඉතින් දිනපු කෙනාට හම්බවෙනවා බොම්බායට යන්න අවස්ථාවක්. ටිකට් එකක් දෙනවා. ඉතිං මම තාත්තට කිව්වා අනේ තාත්තතේ අපි දන්න මොන බොම්බායක්ද? අපිට යන්න දන්නේ නෑ. අපිට එහෙම එකක් නෑ. අපි ගිහිල්ලා ඒකට යන වියදම ඒ මහත්තයාලාගෙන් ඉල්ලගමු කියලා.. එතකොට අපට මොනාහරි දෙයක් කරන්න පුළුවන් කියලා. ඒ ගමන තාත්ත කිව්වා අපිට ඔහොම දෙයිද බං. ඕවා අපි දන්නේ නෑ කියන්න කියලා. කොහොම හරි අපි ඒ මහත්තුරු හොයාගෙන ඒ ආයතනයට ගියා. ඒක තිබ්බේ කොටුවේ ඔරලෝසු කණුව ළඟ. ගිහිල්ලා මමම තමයි පැනලා කිව්වේ ඒ මහත්තයාලාට. මාව අඳුන ගත්තා ඉතිං. තරගයෙන් දිනලනේ.
මං කිව්වා මහත්තයා අපි බොම්බායට යන්න දන්නේ නෑ. අපිට ඒක එපා. අපි හරි දුප්පත්. අපිට පුළුවන්නම් ඒකට යන සල්ලි දෙන්න කියලා. ඒ ගමන අපිට ඒකට සල්ලි දුන්නා. දුන්න ගාන නම් මතක නෑ. කිසි දෙයක් ඒවා මේවා ඇහුවෙ නෑ. අපිට සල්ලි දුන්නා. ඒ ගමන හරි ආසයි තාත්තටයි මටයි. ඉතිං මං කිව්වා තාත්තේ අපි මොනව හරි හොඳට කමු. අපි එහෙම දේවල් කාලා නෑ. තාත්තයි මමයි චැතම් වීදියේ තියෙන තැනකින් එළවළු රොටි කාලා සරුවත් බිව්වා. මට හරිම ආසයි අර ටකස් ටකස් ගලා අයිස් දාලා සරුවත් හදනවා. බීලා දැන් එන ගමන් මං තාත්තට කියනවා… තාත්තේ අපි ස්ත්‍රික්කයක් ගමු කියලා. සල්ලි හම්බවෙලානේ.. තාත්තා කිව්වා උඹට පිස්සුද මේ ගෙදර ලයිටුත් නෑ කොහෙන් ස්ත්‍රික්ක ගන්නද කියලා. මං කිව්වා අපි ලයිටුත් ගමු කියලා. මොකද අපේ තාත්තා ටේලර් කෙනෙක්. තාත්තා ඇඳුම් මදින්නේ අඟුරු ස්ත්‍රික්කෙන්. අඟුරු අරන් එනවා සල්ලිවලට. ඉතිං උණබම්බු කෑල්ලක් තියන් තාත්තා පිඹිනවා ගින්දර එන්න. තාත්තාගේ ඔළුවේ මුළු ඇඟේ ඔක්කොම දුම් අළු යනවා. හරි දුකයි අපිට ඒක බලන්න. ඒකෙන් තමයි මදින්නේ කෝට් සේරම දේවල්. ඉතිං ඕක මගේ හිතේ තිබුණා. ඉතිං ඒ සල්ලිවලින් ලයිට් ගත්තා. තාත්තට ස්ත්‍රික්කයක් ගත්තා. සුමාන දෙකකට හොඳට කන්න කෑමබීම ගෙනාවා. මාළු.. අරවා මේවා ගෙනාවා ඉතිං හොඳට කන්න. ඊට පස්සේ තාත්තට උණුවතුර බෝතලයක් ගත්තා. මොකද අම්මා තාත්ත වැඩ කරද්දි රෑට තේ කෝප්පයක් හදලා තියෙනවා. තාත්ත රෑ වෙනකම් වැඩ. අපි හොඳටම දන්නවා මේ සීතල වෙච්ච තේ එක තමයි තාත්තා බොන්නේ. ඒක නිසා උණුවතුර බෝතලයකුත් ගත්තා. අරගෙන ඉතිං ඔහොම ජීවිත ගමනක් අපි ආවා. තාත්තා වැඩ කළේ හයිඞ්ඩ්‍රාමනී එකේ. තාත්තා කෝට් මහලා ඉතිරි වන සමහර කෑලි.. හොඳ රෙදි ඒවා. අපේ වත්තේ චූටි චූටි ළමයින් එහෙම ඉන්නවා. තාත්තා ඉතිං කලිසමක් හරි මොනා හරි මහල තාත්තා මට තමයි කියන්නේ පුතේ අහවල් ගෙදර ඉන්නවා පොඩි එකෙක්. එයාට මේක හරියනවා. ඔයා ගිහින් දෙන්න මේක. කියන්න මේ හොඳම රෙදි. මේ බොත්තම් හොඳම බොත්තම්. බකල් එකක් පෙන්නලා කියනවා මේක හොඳම බකල් එකක් කියන්න. ඉතිං යනවා මං. මාව ගත්තේ නෑ ඒ අය ගෙට. ඉතිං ඊට පස්සේ බොහොම හෙට්ටු කරලා ඒක විකුණනවා. ඉතිං කියනවා බොහොම බැගෑපත්වෙලා මහත්තයා තාත්තා කිව්වා මේ හොඳම රෙද්ද කියලා. හොඳම බකල් එකක් දාලා තියෙන්නේ කියලා. ඉතිං කියනවා උඹ කොහොමද ළමයෝ ඕවා දන්නේ කියලා. ඒ වුණාට කියනවා තාත්තා කියන එකනේ. ඉතිං සල්ලි අරන් එනවා විකුණලා කොහොම හරි. ඔන්න ඔය විදියට තමයි අපේ ජීවිත ගෙනිච්චේ.
වසන්ත විතාරණගේ