ජාත්‍යන්තර කම්කරු දිනය නිමිත්තෙන් අද (01 දා) පැවැත්වෙන මැයි දින රැලිවලට සහභාගි වීම සඳහා ලක්‍ෂ සංඛ්‍යාත ජනතාවක් කොළඹ නගරයට පැමිණීමට නියමිතයි.
කොළඹ නගරයේ පමණක් මැයි දින රැලි 17 ක් හා පෙළපාළි 12 ක් පවත්වන බව වාර්තා වනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මැයි දින රැලිය අද සවස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ හයිඩ් පිටියේදී පැවැත්වෙනවා.එම පක්‍ෂයේ පෙළපාලිය සවස 1.00 ට කොළඹ නෙලුම් පොකුණ රඟහල අසලින් පිටත් නියමිතයි.
එක්‌සත් ජාතික පක්‍ෂයේ මැයි දින රැලිය අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් බොරැල්ල කැම්බල් පිටියේදී පැවැත්වීමට නියමිත අතර එහි පෙළපාළිය ග්‍රෑන්ඩ්පාස් පී. ඩී. සිරිසේන ක්‍රීඩාංගණයෙන් පිටත්වනු ඇති.
එක්‌සත් ජනතා නිදහස් සන්ධානයට සම්බන්ධ මහජන එක්‌සත් පෙරමුණ, ජාතික නිදහස් පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, ලංකා සම සමාජ කොමියුනිස්‌ට් ඇතුළු පක්‍ෂ හා වෘත්තීය සමිති සියයකට වැඩි ප්‍රමාණයකගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන එක්‌සත් මැයි දින රැලිය සවස කිරුළපන ලලිත් ඇතුලත්මුදලි ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.පෙළපාළිය දහවල් කිරුළපන මංසන්ධියෙන් පිටත්වන බව සංවිධායකයන් පවසනවා.
ජනතා විමුක්‌ති පෙරමුණේ මැයි රැලිය සවස 4.00 ට තිඹිරිගස්‌යාය බී.ආර්.සී. පිටියේදී පැවැවෙන අතර පෙළ පාළිය සවස 1.00 ට දෙහිවල එස්. ද එස්. ජයසිංහ ක්‍රීඩාංගණයෙන් පිටත්වනු ඇති.
ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයේ මැයි දින පෙළපාළිය පස්‌වරු 1.00 ට රාජගිරිය ආයුර්වේද හන්දියෙන් පිටත්වන අතර ඉන් පසුව රැළිය පැවැත්වෙන්නේ නාරාහේන්පිට ශාලිකා ක්‍රීඩාංගණයේදී.
නව සමසමාජ පක්‍ෂය ගුණසිංහපුරයේදීත්, සමසමාජ කොමියුනිස්‌ට් විකල්ප කණ්‌ඩායම නුගේගොඩ ආනන්ද සමරකෝන් පිටියේදීත්, පෙරටුගාමී සමාජවාදී පක්‍ෂය රාජගිරිය බණ්‌ඩාරනායකපුර ක්‍රීඩාංගණයේදීත් ජනරජ සෞඛ්‍ය සංගමයේ රැලිය මරදානේ පිහිටි එම සංගම් මූලස්‌ථානයේදීත් නිදහස් වෙළෙඳ කලාප සහ පොදු සේවා සේවක සංගමයේ රැලිය මාලිගාවත්ත කලීල් ක්‍රීඩාංගණයේදීත් තම රැළි පැවැත්වීමට නියමිතයි.
ක්‍රිස්‌තියානු කම්කරු සහෝදරත්වයේ මැයි දින කම්කරු ප්‍රජාව පෙරවරු 9.00 සිට කොල්ලුපිටිය පොල්වත්තේ ශුද්ධ කෝවිල් සහ සියලු දේවදූතයන්ගේ දේවස්‌ථානයේදීත් පැවැත්වෙනවා.
මෙයට අමතරව ලංකා කම්කරු කොංග්‍රසය තොටළඟදීත්, ජාතික කම්කරු සංගමය නුවරඑළියේදීත්, සමස්‌ත ලංකා පාසල් රියෑදුරු සංගමයේ රැලිය ගම්පහදීත් පවත්වනු ලබනවා.