පසුගිය ජනාධිපතිවරණයේ දී හිටපු ජනාධිපතිවරයා සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් යොදාගත් ගුවන් යානා වෙනුවෙන් ගෙවිය යුතු මුදලෙන් විශාල කොටසක් ගෙවනු ලැබුවේ හමුදාවේ කෝප්‍රල්වරයකු විසින් බව අනාවරණය වී තිබෙනවා.
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විසින් පවත්වන ලද විමර්ශනයකදී මේ බව අනාවරණය වූ බව පැමිණිල්ල ඉදිරිපත් කළ ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනයේ සන්නිවේදන කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ශාන් විජේතුංග මාධ්‍ය වෙත සඳහන් කළා.
"ගුවන් හමුදා නිලධාරීන් දෙදෙනා ප්‍රකාශ කළා අය විය යුතු මුදලින් එක් කෝටි හැත්තෑ පන් ලක්ෂ තිස් පන් දහසක් ගෙවුවයි කියල. මේ ගෙවීම කරන්න ඇවිල්ල තියෙන්නේ හමුදාවේ කෝප්‍රල්වරයෙක්.අනිත් එක ඔහු මේ මුදල් ගෙවීමෙන් පසු ලදුපත ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යන නමින් නිකුත් කරන්න කියලත් ඉල්ලල තියෙනවා" යැයි ශාන් විජේතුංග පවසනවා.
හමුදා නිලධාරියා විසින් කොටසක් ගෙවීමෙන් අනතුරුව තවත් රුපියල් අනූ ලක්ෂ හැත්තෑ පන් දහසකට ආසන්න මුදලක් ගෙවිය යුතුව තිබෙන බවත් ගුවන් හමුදාව මානව හිමිකම් කොමිසමට දැනුම් දුන්නා.