එළඹ ඇති පාසල් නිවාඩු කාලය තුළ නිවෙස් ගතව සිටින සියලු පාසල් දරුවන්ට ඕනෑම දුරකථන ජාලයක් ඔස්සේ ගාස්තු රහිතව e තක්සලාවට ප්‍රවේශ වීමට අවස්ථාව ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පියවර ගෙන තිබෙනවා.
අධ්‍යාපන අමාත්‍යංශය විසින් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවෙන් කරන ලද ඉල්ලීමක් අනුව සියලු දුරකථන සමාගම් වල එකගත්වය මත මෙම පහසුකම් ලබාදීමට පියවර ගෙන ඇති බව සඳහන්.
ඉ-තක්සලාව වෙත පිවිසෙන සියලු පාසල් දරුවන්ට විෂය ක්‍රියාකාරකම්, ප්‍රශ්න පත්‍ර සහ පෙළපොත් ආශ්‍රිත අභ්‍යාස ඇතුළු ඉගෙනුම් ක්‍රියාවලියට අත්වැලක් වන පාඩම් මාලා රැසක් සමග එක්වීමට අවස්ථාව සැලසෙන අතර 1 සිට 5 ශ්‍රේණි දක්වා සිසුන් වෙනුවෙන් අන්තර් ක්‍රියාකාරී පාඩම් සහ විද්‍යුත් අන්තර්ගතයන්ද, 10 -11 ශ්‍රේණි සඳහා වීඩියෝ පාඩම් ද 1-13 ශ්‍රේණි සඳහා විභාග ප්‍රශ්න පත්‍ර 5 ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගය ,අපොස සාමාන්‍ය පෙළ විභාගය සහ අපොස උසස් පෙළ විභාගයට අදාල පසුගිය ප්‍රශ්න පත්‍ර, 1 සිට 13 ශ්‍රේණිය දක්වා විෂයානුබද්ධව සකස් කළ විනෝදාත්මක වැඩසටහන් e පුස්තකාල, ශබ්දකෝෂ, සහ තවත් කියවීම් ද්‍රව්‍ය රැසකින් සමන්විත වන බව සඳහන්.
මෙරට කොරෝනා වෛරසය ආසාදිත දෙවැනි රෝගියා හඳුනාගත් අවස්ථාවේදීම රටේ දරුවන්ගේ නිසි ආරක්ෂාව උදෙසා පාසල් නිවාඩුව ක්‍රියාත්මක කිරීම සඳහා අතිගරු ජනාධිපතිතුමන්ගේ සහ අග්‍රාමාත්‍ය තුමන්ගේ මගපෙන්වීම මත අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා විසින් ගත් නිවැරදිවූත් කාලෝචිත වූ තීරණය වඩාත් අර්ථවත් වන්නේ මෙම නිවාඩු සමය තුළ දරුවන් ඉගෙනීම සඳහා නැඹුරු කරවීමෙන් බව අධ්‍යාපන අමාත්‍යාංශය අවධාරණය කරනවා.
ඕනෑම දුරකථන ජාලයකින් නොමිලේ e තක්සලාව වෙත පිවිස ඔබට ලැබී ඇති මෙම අවස්ථාව ප්‍රයෝජනයට ගන්නා ලෙස ද අධ්‍යාපන අමාත්‍යාංශය සියලු පාසල් දරුවන්ට දැනුම් දෙනවා.