මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ උපදෙස් පරිදි Capital City Law නීතිඥ සමාගම විසින් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මේ බව නිල වශයෙන් දැනුම් දීලා තියෙනවා.
එම නිවේදනයට අනුව සිදුකර ඇති තහනම් කිරීම් සහ නීතිමය තත්ත්වය පහත පරිදි වෙනවා.
අදාළ නිර්මාණ වාණිජ අරමුණින් නැවත ගායනා කර පටිගත කිරීම, Cover Versions ලෙස ප්‍රතිනිර්මාණය කිරීම මෙන්ම උපහාර හෝ අනුස්මරණ ප්‍රසංග නාමයෙන් ගෘහස්ථ හෝ එළිමහන් වේදිකාවල ගායනා කිරීම සපුරා තහනම් වනවා.
ඒ වගේම වාණිජ්‍ය පරමාර්ථයෙන් මෙම ගීත මහජනතාව වෙත විකාශය කිරීම හෝ රචකයාගේ සදාචාරාත්මක අයිතීන් උල්ලංඝනය වන පරිදි භාවිත කිරීම ද නීති විරෝධී බවයි නිවේදනයේ දැක්වෙන්නේ.
2003 අංක 36 දරන බුද්ධිමය දේපළ පනත මෙන්ම, ශ්‍රේෂ්ඨාධිකරණය (SC Appeal No: 155/2014) මඟින් ද තහවුරු කර ඇති මෙම හිමිකම් කඩකරන පුද්ගලයන්ට හෝ ආයතනවලට එරෙහිව සිවිල් මෙන්ම අපරාධ නඩු පැවරීමට උපදෙස් දී තිබෙනවා. මෙම තහනම ලංකාවට විතරක් නෙවෙයි, විදේශයන්හි සිට සිදුකරන උල්ලංඝනයන්ටත් එලෙසින්ම අදාළයි.
කොහොම වුණත් වාණිජ්‍ය නොවන අරමුණින් එනම් පාසල් සහ විශ්වවිද්‍යාල තුළ සිදුකරන අධ්‍යාපනික ගායනා සඳහාත්, ගුවන්විදුලි හෝ රූපවාහිනී නාලිකාවල පැවැත්වෙන ආධුනික ගායනා තරග සඳහාත් මෙම තහනම අදාළ නොවන බව අදාළ නිවේදනයෙන් වැඩිදුරටත් පැහැදිලි කරලා තියෙනවා..
