ලෝක කුසලානයේ තවත් තීරණාත්මක තරඟයක් ලෙසින් කා අතරත් කතාබහට ලක්වූ නවසීලන්ත දකුණු අප්‍රිකා තරඟය නිමාවට පත්වූයේ නවසීලන්තයට ජයගෙන දෙමිනි. මුල සිටම ඉතා උණසුම් මුහුණුවරක් ගත් මෙම තරඟයේ අවසන් පන්දු ඕවරය දක්වාම ජයග්‍රහණය කරන පිල පිළිබඳව නිශ්චිතව කිව නොහැකිව තිබුණි.
නමුත් සියල්ල අවසන් කරමින් පන්දු ඕවරය නිමාවීමට එක් පන්දුවක් ඉතිරිව තිබියදී එල්ල කල 6 පහරකින් නවසීලන්තය අවසන් මහා තරඟයට තෙරීපත් විය. එම පහර එල්ල කලේ නවසීලන්ත ක්‍රීඩක Grant David Elliott වේ.
ඔහු තරඟයේ වීරයා ලෙසද නම් කරනු ලැබුවේ පීඩනයේ හමුවේ අගනා ඉණිමක් ක්‍රීඩා කරමින් ජයග්‍රහණය පෙනෙන මානයට නවසීලන්ත පිල රැගෙන ගිය නිසාවෙනි. ඔහු නොදැවී ලකුණු 84ක් රැස් කරමින් අවසන් පන්දු වාරයේ 5 වන පන්දුවේදී 6 පහරක් එල්ල කළේ දකුණු අප්‍රිකාවේ බලාපොරොත්තු සියල්ල බිඳ දමමින්ය.
මොහුගේ විශේෂත්වය වන්නේ දකුණු අප්‍රිකාව පරාජය කිරීමට මුල් වූ Grant David Elliott දකුණු අප්‍රිකාවේ උපත ලබා හැදී වැඩුණු ක්‍රීඩකයෙකු වීමයි. 1979 වසරේ මාර්තු 21 වන දා දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් නුවරදී උපත ලැබූ ඔහු 19න් පහළ දකුණු අප්‍රිකානු කණ්ඩායමත්, දකුණු අප්‍රිකා A කණ්ඩායමත් නියෝජනය කළ දක්ෂ ක්‍රීඩකයෙක් විය. 2001 වසරේදී ඔහු නවසීලන්තයේ පදිංචියට ගොස් ඇති අතර පසුව 2008 වසරේදී නවසීලන්ත ටෙස්ට් සහ එක්දින කණ්ඩායම්වලට ඇතුළත් වීමට ඔහුට හැකියාව ලැබී ඇත.