හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අගමැති අපේක්ෂකයා බවට පත් කළ යුතු බවට බල කරමින් පෙරේදා මහනුවරදී පැවති රැළියට සහභාගී වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව එහි මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා පවසනවා.
මන්ත්‍රීවරයා සඳහන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනාගතය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් මෙම විනය ක්‍රියාමාර්ගය ගැනීමට අපේක්ෂා කරන බවයි.
‘‘දිනූ නිදහස අනතුරක - ජාතියේ අභියෝගය ජය ගැනීමට පෙළ ගැසෙමු’’ යන තේමාව යටතේ මෙම රැළිය පැවැත්වුණේ පෙරේදා දිනයේදීයි. එය සංවිධාන කළේ මීට පෙර නුගේගොඩ පැවති ජන රැළිය සංවිධානය කළ මහජන එක්සත් පෙරමුණ, ජාතික නිදහස් පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ සහ පිවිතුරු හෙළ උරුමයයි.
මෙම ජන රැළියට ජාතික නිදහස් පෙරමුණේ නායක, විමල් වීරවංශ, මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර සහ පිවිතුරු හෙළ උරුමයේ නායක පළාත් සභා මන්ත්‍රී උදය ගම්මන්පිළ ඇතුළු දේශපාලන නියෝජිතයන් මෙන්ම කලාකරුවන් ද එක්ව සිටියා.
එසේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දිලූම් අමුණුගම මන්ත්‍රීවරයා මහනුවර රැස්වීමේ වේදිකාවේ අසුන් ගැනීම විශේෂත්වයක්.
හිටපු අමාත්‍ය සාලින්ද දිසානායක ද රැස්වීමට පැමිණ සිටි බව සදහන් වූ අතර දකුණු පළාත් සභා මන්ත්‍රී පූජ්‍ය බද්දේගම සමිත හිමියන් මෙන්ම බස්නාහිර පළාත් සභාව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමන්මලී සකලසූරිය, ලලිත් එල්ලාවල, ජගත් කුමාර යන මන්ත්‍රීවරුන් ද ජන රැළියට එක්ව සිටියා. එසේම නිදහස් පක්ෂය නියෝජනය කරන මොරටුව නගරාධිපතිවරයා ඇතුළු තවත් පළාත් සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින් රැසක් ද මහනුවර ජන රැළියට එක්ව සිටි බවට වාර්තා වුනා.
මෙහිදී මධ්‍යම පළාත් හිටපු ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පණිවුඩයක්ද ඉදිරිපත් කළා. කෙසේ වෙතත්, මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන දිලූම් අමුණුගම ප්‍රකාශ කළේ විනය ක්‍රියාමාර්ග පිළිබඳ ආරංචියක් ලැබී ඇති අතර, පක්ෂය විසින් විමසීමක් සිදුකළහොත් ප්‍රකාශයක් කිරීමට සූදානම් බවයි.