රාම සීතා පෙම්කතාව කියවන විට රාවණා රජු ගමන්ගත්තේ යැයි කියන දඬුමොනරයක් ගැන රාමායනයේ කියවෙනවා. සීතා දේවිය සඟවා තැබුවේ යැයි කියන ස්ථානයක් ලෙස නුවරඑළිය සීතාඑළිය රක්ෂීතය ගැනද රාමායනයේ සඳහන් වෙනවා.
සීතාඑළිය කෝවිලට තාමත් හින්දු බැතිමතුන් පූජා පවත්වන අතර රාවණා රජු විිසින් සීතා දේවිය සඟවා තැබීම සඳහා නිතර නිතර ගමන්ගත් දඬුමොනරය නතර කර විවේකගත් ස්ථානයක් ලෙස වතු කම්කරුවන් පුද සත්කාර කරමින් තිබෙන ස්ථානයක් සොයා අප එහි සංචාරයක නියැලුනා.
මස්කෙළිය මාවුස්සාකැලේ ජලාශයට සහ කැනියොන් ජලවිදුලි බලාගාරයට ඉහලින් සප්තකන්‍යා කඳුවැටියට නුදුරු මාවුස්සාකැලේ නයිසා වත්තේ සීටන් කොටසේ අක්කර තුනක (3) පමණ විශාල වපසරයකින් යුත් තැනිතලා ගල්පරයක් වෙතට අපට සංචාරය කිරීමට හැකිවුනා.
අති දුෂ්කර මාර්ගයක් ඔස්සේ මෙම තැනිතලා ගල්පොත්තට ගිය අවස්ථාවේ අප කැමරාවේ සටහන්වුනේ අඟලක් පමණ ගැඹුරට අඟල් දෙකක් පමණ පළලට අඩි පහක පමණ පරතරයකින් යුත් එකහා සමාන රේඛා දෙකක් අඩි සියයක් දිගට ගල්පර්වතයේ ස්ථාන කීපයකම සලකුණු කීපයක් තිබෙන ආකාරයයි.