පසුගිය 6 වන දා බෙල්ලන්විල ගමක් හැඬවූ ඛේදනීය සිදුවීමක් සිදුවුණා. ඒ බෙල්ලන්විල - ශ්‍රී සෝමරතන මාවතේ පිහිටි නිවසක ඇති වූ ගින්නකින් 38 හැවිරිදි ගැබිණි වෛද්‍යවරියක් මියගොස් ඇයගේ සැමියා සහ පස්හැවිරිදි පිරිමි දරුවා ගින්නට හසු වී පිළිස්සී යාමයි.
වෛද්‍ය පවුලේ සතුට, සැනසුම සෙනෙහස පිරි ඉතිරී ගිය සොඳුරු කැදැල්ල දැන් කළු අඳුරු පැහැගත් නටබුන් ගොඩක් පමණයක් බවට පත් වී හමාරය.මේ ඒ පිළිබඳව පුවත්පතක පළවූ සංවේදි සටහනක්.
ගින්නට හසුවීම හේතුවෙන් නිවැසියන්ගෙන් එක් අයෙක් වන තරුණ වෛද්‍යවරියක් මිය පරලොව ගොස් හමාරය. ඇගේ සැමියා වන වෛද්‍ය අනුරංග ඩයස් (අවු. 36) දැඩි අසාධ්‍ය තත්ත්වයෙන් මේ වන විටත් ජීවිතයත් මරණයත් අතර සටනකය.
ලැබෙමින් පවතින ආරංචි මාර්ගවලට අනුව වෛද්‍ය යුවළගේ පස් හැවිරිදි පුතනුවන්ගේ තත්ත්වය එතරම් බරපතළ නැත. එහෙත් මෙතෙක් දිනක් ඔහුට සෙවණ, රැකවරණය, සෙනෙහස දුන් අම්මා ජීවතුන් අතර නැත. ඇය නුදුරේ දිනක දෙවැනි දරු සම්පත නිවසට රැගෙන ඒමට බලාපොරොත්තුවෙන් සිටි පස්මස් වියැති ගැබිනියක් වූවාය. අනතුරක් කොතැන කුමන ආකාරයකට සිදුවේ දැයි කිසිවෙකුට කිව නොහැකිය. තරුණ වෛද්‍ය යුවළ ඇතුළු ඔවුන්ගේ ආදරණීය පුතණුවන්හට ද එම නියමය පොදුය.
බුර බුරා නැගෙන ගිනිදළුවලින් බේරීම පිණිස නිවසේ ඉහළ මාලයට වී නිවැසියන් දැරූ සියලූ තැත වියැකී යන කල ඔවුන් නැගූ විලාප හඬ හිස් අහසට මුහුවන්නට ඇත. ඒ හඬ ඇසුන කිසිවෙක් අහල පහලක නැත. ඒ වෙනුවට අවට ප්‍රදේශවාසීන්හට දකින්නට ලැබෙන්නේ ඇසිල්ලකින් හටගත් මහා ගිනි කඳකින් වෛද්‍ය යුවළගේ නිවස වැසී යන අයුරුත්, ඉන් නිකුත් වන කළු දුම් කඳක් බෙල්ලන්විලට ඉහළින් ඇති අහසට එක්වන ආකාරයත් පමණය.
හදිසියේ හටගත් කළු දුමක් ඉහළ අහසට එසවෙනු දකින ප්‍රදේශවාසීන් එම ස්ථානයට ළඟා වී ඇත්තේ ඉන් අනතුරුවය. ගින්න හටගත් ස්ථානය දකින ගම්වැසියන්ට එය වෛද්‍ය යුවළගේ නිවස බව වටහාගැනීමට වැඩි වේලාවක් ගත වී නැත. ඒ අවස්ථාවේ එම ස්ථානයට රැස්වූ ගම්වැසියන්ගෙන් එක් අයෙක් එම සිදුවීම විස්තර කළේ මේ ආකාරයෙන් ය.
එදා දවල් 1.30 ට විතර ගිනි නිවන රථයක් අපේ ගෙවල් පහුකරගෙන ගියා. ඒත් එක්කම තවත් ගිනි නිවන රථයක් වේගයෙන් ඒ පැත්තට ගියා. ඒ හින්ද අහල පහල මොකක් හරි අනතුරක් වෙලා ද බලන්න මමත් පාරට බැස්සා. ඒ වෙලාවේ තමයි මම දැක්කේ අපේ ගෙවල්වලට ගෙවල් කීපයක් එහායින් මහා කළු දුමක් අහසට නගින විත්තිය. එතනට ගිහින් බලද්දී තමයි දැක්කේ ඒ ගිනි ගන්නෙ අනුරංග දොස්තර මහත්තයගෙ නිවස කියල. ඒ වෙනකොටත් ගිනි නිවීමේ භටයන් පොලිසිය ඇතුළු ගම්වැසියෝ ගින්න නිවන්න ලොකු උත්සාහයක නිරත වෙලා හිටිය. දුම හින්ද කාටවත් කිසි දෙයක් හරියට පෙනුනේ නෑ. ඒ වෙනකොට නිවසේ ඉහළ මාලය මුළුමනින්ම ගින්නට හසුවෙලා තිබුණ. ගිනි නිවන හමුදාවයි පොලිසියයි ගින්න මැඬපවත්වන්න නොගත් උත්සාහයක් නෑ. කොහොම හරි ටික වෙලාවක් යද්දී උඩුමහලේ ගින්න නිවන්න ඒ අයට පුළුවන් වෙනවා.
ඊට පස්සෙ තමයි උස ඉනිමඟක් තියල ගිනි නිවන භටයන් හා පොලිස් නිලධාරීන් වහලට නැග ගත්තේ. ඊට පස්සෙ වහලෙ ෂීට් අයින් කරල ඒ අය උඩුමහලට බැහැගත්ත.
ටික වෙලාවක් ගියාට පස්සෙ මුලින්ම පහළට අරන් ආවේ දොස්තර මහත්තයගෙ පුතාව. ඒ දරුවව සුව සැරිය ගිලන් රථයේ පටවල රෝහලට යැව්වා. ඊට පස්සෙ මහත්තයවයි නෝනවයි පහළට ගෙනාවා. ඒ අයව පොලිස් ජීප් රථයකින් රෝහලට අරන් ගියා. ලොකු පිළිස්සුම් තුවාල පේන්න තිබුණෙ නෑ. ඒ වුණාට තුන්දෙනාටම ඒ වෙලාවේ සිහියක් තිබුණ විත්තියක් පෙනුනේ නෑ.’’
එම අවාසනාවන්ත සිදුවීම ගම්වැසියකු දැක ඇත්තේ ඒ ආකාරයෙන් ය. ඊට පෙර ප්‍රදේශවාසීන් විසින් ගින්න පිළිබඳව බොරලැස්ගමුව පොලිසිය දැනුවත් කරන අතර, පොලිස් ස්ථානාධිපති ප්‍රියංක සිල්වා මහතා වහා ක්‍රියාත්මකව ඒ බව දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ ගිනි නිවන ඒකකයට දන්වා ඇත. ගිනි නිවන ඒකකය අදාළ ස්ථානයට පැමිණෙන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසය. ගින්න නිවා දැමීම ඔවුන්ට එකවරම කළ නොහැකි කාරියක් බවට පත්වන්නේ ඒ වන විට ද මුළුමනින්ම නිවස ගිනිදැල්වල ගොදුරක් බවට පත්ව තිබීම හේතුවෙන් ය. කෙසේ වෙතත් යම්තාක් දුරකට ගින්න මැඬපැවැත්වීමට සමත් වන ගිනි නිවන භටයන් හා පොලිස් නිලධාරීන් නිවසෙහි උඩුමහලට ගොඩවී විපරම් කර බැලීමේදී දැක ගැනීමට ලැබී ඇත්තේ බෙහෙවින් හද කම්පා කරවන සුළු දසුනක් ය. ඒ වන විටත් වෛද්‍ය යුවළ සහ ඔවුන්ගේ පුතනුවන් උඩුමහලේ පිහිටි නාන කාමරය තුළ සිහිසුන්ව වැටී සිටින අයුරුය.
මෙම ගින්න හටගත් අවස්ථාවේ වෛද්‍යවරයාගේ මව ද එම නිවස තුළ සිට ඇත. ඇය අසනීප තත්ත්වයෙන් පසුවන්නියක්ය. 63 හැවිරිදි ඇයට එවෙලෙහි කළ හැකි එකම දෙය බවට පත්වන්නේ නිවසේ ගින්නක් හට ගෙන ඇති බව පුතුට දැනුම් දීම පමණි.
ඒ සඳහා ඇය උත්සාහ දරා ඇතත් නිවස වසා ගනිමින් පැතිරෙන කළු දුමාරය ඊට හරස් වී ඇත. එවෙලෙහි පහත මාලයේ සිට ඇති අැයට එම සිද්ධියෙන් අනතුරක් සිදු වී නැත. පසුව ඇයව ද රෝහල්ගත කිරීමට සිදුවන්නේ දැඩි මානසික කම්පනයට වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම පිණිසය.