ඉදහිට ගැයුවත් කුෂාණි සදරේඛා කියන නම හඩ වගේම ඒ රූපය හැමෝටම මතකයි. දශක ගණනාවක් සංගීතයත් එක්ක ජිවත් වෙන කුෂාණි සිනමා තිරයේ පසුබිම් ගායිකාවක් විදිහටත් සාර්ථක ගායිකාවක්. මේ ඇය ගැන තොරතුරුයි.
මුලින්ම අපි ඔබට හිමි වූ මෙම සම්මානය ගැන කථා කරමු..
ක්ෂේත්‍රයට ඇවිල්ලා නම් සෑහෙන කාලයක් වනවා. ඒත් චිත්‍රපට පසුබිම් ගායිකාවක ලෙසින් සම්මානයක් හිමි කරගත්තු පළමු අවස්ථාව තමයි මේ.. “ආදරණීය කථාවක්” චිත්‍රපටයට මම ගීත 3 ක් ගායනා කළා. ඒත් චිත්‍රපටයේ තේමා ගීතය වූ “සිතුවිලි පුරා” ගීතය ගයන්නට අසීරු ගීතයක්. ඒ ගායනය ඇගයීමට ලක්වීම ගැන සතුටුයි.
කුෂානිගේ ගායන ජීවිතයට දිගු ඉතිහාසයක් තිබුණත් ඔබ මාධ්‍ය තුළින් රසිකයින් අතරට එන්නේ අඩුවෙන්.. ?
කලාකරුවකුට වැදගත් ජනතාව අතර රැඳෙන එක. ඒ සඳහා නිර්මාණ මහ ගොඩක් අවශ්‍ය නැහැ. නිතර නිතර මාධ්‍යයේ පෙනී හිටින්න අවශ්‍යත් නැහැ. මතකයේ රැඳෙන එකක් දෙකක් කළත් ඇති. ඇත්තටම මම නිතරම මාධ්‍යයට එන්නේ නෑ. අලුත් ගීයක් නිර්මාණය කරන්නේත් ඉඳහිට. ඒ වුණත් මාව තවමත් රසික පිරිස අඳුනනවා. තමන්ගේම අනන්‍යතාවයක් ගොඩ නගාගෙන ඒ තුළින් හොඳ නිර්මාණ කිරීමයි වැදගත්. මම හිතන්නේ ඒ විදියට.
මෑත කාලයේ නවක ගායක ගායිකාවන් රැසක්ම ක්ෂේත්‍රයට එක්වුණා. ඒ අයගේ ගී නිතර මාධ්‍ය තුළින් අසන්නට ලැබෙනවා . ඇතැමුන් මේ පරපුර දැඩිව විවේචනය කරනවා. කුෂානි මේ පිළිබඳ දරන්නේ මොන වගේ අදහසක්ද .. ?
මෑත කාලයේ බිහිවූ අය අතර දක්ෂයින් සිටිනවා . අදක්ෂයිනුත් සිටිනවා. ඒ වගේම හොඳ ගී වගේම හරසුන් ගීතත් මෑත කාලයේ බිහිවුණා. පොදුවේ ගත්තම මෑත පරපුරේ බොහෝ අයගේ ඒකායන අරමුණ හැකි ඉක්මනින් ජනප්‍රියවීම එහෙම වුණාම අනවශ්‍ය තරඟකාරිත්වයක් ඇතිවෙනවා. ආත්මාර්ථකාමි ගති මතුවනවා. එය තමන්ගේ පැවැත්මට ලොකු හානියක් බව ඒ අය තේරුම් ගන්නේ නෑ. ජනප්‍රියත්වය කියන්නේ තමන් කරන දේ සඳහා ලැබෙන දෙයක්. එය හඹායන එක නෙවෙයි කරන්න ඕන.. තමන්ගේ අනන්‍යතාවයක් ගොඩ නගාගෙන ඒ තුළින් හොඳ දේ කිරීමයි වැදගත්. එය එක රැයකින් කරන්න බැහැ..
ඔබ ඔබගේ අනන්‍යතාවයක් ගොඩ නගාගත්තේ කොහොමද .. ?
මුල්ම කාලේ මට මගේම අනන්‍යතාවයක් තිබුණේ නැහැ. මම ක්ෂේත්‍රයට එද්දි වයස අවුරුදු 7යි . ඒ කාලේ ඉඳන් ගී ගැයුවත් මා පිටුපස මගේ අම්මයි තාත්තයි හිටියා. මම මගේම අනන්‍යතාවයක් ගොඩ නගා ගත්තේ “වරංගනා” ගීතය තුළින්. ඊට පස්සේ මම දිගටම මගේ අනන්‍යතාවයෙන් යුතු ගී රටාවක හිටියා. මගේ පළමු සංයුක්ත තැටිය වන “ රේඛා” සංයුක්ත තැටියේ ඇතුලත් වූයේ කාලයක් හිතලා බලලා කළ නිර්මාණ..“ ජෑස්” “බ්ලූ” සහ “ප්ලෙමින්තෝ” ෙශෙලයේ ගීත ගැයූ පළමු ශ්‍රි ලාංකීය ගායිකාව මම . එකී ෙශෙලීන්ගේ ගීත “රේඛා” සංයුක්ත තැටියට ඇතුලත් වුණා.. තවමත් මම අළුත් සංයුක්ත තැටියක් ගැන හිතුවේ නැත්තෙත් ආවාට ගියාට නිර්මාණ කරන්න බැරි හිංදා.. මම ගීයක් පටිගත කළාට පස්සෙත් ඒ ගීය ගැන මට සෑහීමට පත්වන්න බැහැ කියල හිතුනොත් මම ඒ ගීය පැත්තකට දානවා.
ඒ හිංදද තවම අලුත් සංයුක්ත තැටියක් ගැන හිතුවේ නැත්තේ..
ඔව් .. ඒත් දැන්නම් අලුත් ගී කීපයක් කරන්න කාලය හරි.. තෝරා බේරාගත්තු හොඳම ගී ටිකක් ළඟදීම එලි දක්වන්නට හිතාගෙන ඉන්නවා..
කුෂානි ගායිකාවක් වගේම නර්තන ශිල්පිනියක්.. රියැලිටි තරඟ තුළින් ඔබ ඒ දස්කම් පෙන්නුවා..
මම නර්තනය හදාරනවා. ගායිකාවක් විදියට මගේ ප්‍රාසාංගික බව මතු කරගන්නට නර්තනය මට ලොකු උපකාරයක් වෙලා තියෙනවා.
එම තරඟවලදී ඔබ තුළ රංගන කුසලතා ඇති බවත් පෙන්නුම් කළා..
පාසැල් කාලයේදීත් මම රඟපෑවා. මගේ පළමු චිත්‍රපට ගීතය ඇතුලත් වූ “චන්ඩි රජා” චිත්‍රපටයේත් මම රඟපෑවා. එතකොට මට වයස අවුරුදු 7 යි. ඒත් පසු කාලයේ මම රඟපෑවේ නැහැ.. දැනටත් ආරාධනා ලැබෙනවා. ඒත් රඟපෑම කියන්නේ මම ප්‍රියකරන විෂයක් නෙවෙයි.
ආරියවංශ කුලතිලක