එඩ්වඩ් ජයකොඩි චරිතා ප්‍රියදර්ශනී පිරිස් කියන්නේ මෙරට සංගීත ක්ෂේත්‍රයේ යුග සලකුණු කිව්වොත් නිවැරදියි. ජනතාවගේ ආදරේ දිනා ගත් චරිතා එඩ්වඩ්ගේ සැමියා වෙන්නේ කොහොමද කියලා මේ විදිහට පුවත්පතක් එක්ක කතා කර තිබුණා.
මේ ආදරණිය හමුවීම සිදු වෙන්නේ කොහොමද?
අපි පවුලේ යාළුවෝ. එඞ්වඞ්ගේ සංගීිත ගුරුවරයා විවාහ වෙලා ඉන්නේ මගේ තාත්තගේ නංගි එක්ක. ඒ නිසා ඉස්සර එඞ්වඞ් කොළඹ ආවම අපේ මහ ගෙදර එනවා. එහෙම තමයි හඳුනගන්නේ. අපි හොඳ යාළුවෝ වුණා.
ඒ අතීතය ගැන මතක් කළොත්?
අපි ඉතින් ආදරේට ඒ දවස්වල ජයකොඩි අයියා කියලා තමයි කියන්නේ. විශ්වවිද්‍යාල කටයුතු ඉවර කරලා හිටියේ. ඒකාලේ ආධුනික ප්‍රසංගවලට සහභාගිවුණ කාලේ. ගුරුවරයෙක් විදියට ගුරුකුල විද්‍යාලයට ගියෙත් ඒ කාලෙමයි.
එවගේම තමයි හැම උත්සවයකට අපි අපේ ගෙදරට ගෙන්නගන්නවා. එයා හරිම විනෝද චරිතයක්.ඉන්න තැන පාළුවක් නෑ. ඒ නිසා නැති වුණාම අපි කියනවා ජයකොඩි අයියටවත් එන්න කියන්නකෝ කියලා.මටත් නංගි කියලා කතා කරනවා. 1980 දී වගේ ඉදලා අපේ හැඳුනුම්කම තියෙනවා.මගේ අක්කා මට වඩා යාළුයි. අපේ අම්මත් ගොඩක් ආදරෙයි. ඇත්තටම එඞ්වඞ් කියන්නේ අපේ පවුලේ සාමාජිකයෙක් වගේ .අපිට නැතුවම බැරි කෙනෙක් වුණා.
ඒ හිතවත්කම විවාහ යෝජනාවක් දක්වා දුර යන්නේ කොහොමද?
අපි ගෙදරදි නිතර මුණ ගැහෙනවා කතා කරනවා. විශේෂයක් තිබුණේ නැහැ. රත්නා ලාලිනිගේ මහත්තය සම්පත් තෙන්නකෝන් අයියා එඞ්වඞ්ගේ හොදම යාළුවා. එයා ඉතින් මගෙන් එක එක විස්තර අහනවා ඉස්සර . මමත් ඉතින් ජයකොඩි අයියා ගැන විස්තර අහනවා. කෙළින්ම මට යෝජනාවක් එන්නේ නැහැ.අපේ පුංචිලා නැන්දලා හරහා තමයි මේ යෝජනාවක් විදියට එන්නේ. ඇත්තටම කිව්වොත් මට ලොකු තේරුමක් තිබුනේ නැහැ. මොකද දැන් තියෙනවා වගේ ආදර අන්දර නෙවෙයිනේ එදා තිබුණේ. අවුරුදු අටක් විතර යාළුවෙලා හිටියා. තාත්තට හොරෙන් ටික කාලයක් අපි ආදරේ කළා.
ඉතින් දෙන්නගේ තීරණයට ගෙදරින් කැමැත්ත ලැබුණද?
ගෙදරින් දැනගත්තම තාත්ත නම් පොඞ්ඩක් විතර අකමැත්තක් තිබුණා. හැබැයි අම්මගේ මැදිහත්වීමෙන් තාත්තට කැමැති නොවි බැරි තත්ත්වයක් ඇති වුණා. මොකද අම්මා හරිම ආදරෙයි එඞ්වඞ්ට. පසුකාලීනව ඒ හැමදේම හරි ගියා. අවුරුදු පහක් හයක් ගියාම තමයි අපි ආදරේ කරනවා කියලා හරියට දෙන්නට දෙන්නා අවබෝධ කර ගත්තේ.1997 ජනවාරි 17 තමයි අපේ වෙඩින් එක අරගත්තේ.
මේ ආදර කතාව ඇතුළේ මුහුණ දෙන්න වුණ රසබර සිදුවීම් නැද්ද?
ජනප්‍රිය වුණ මුල් කාලෙදි නම් අත්දැකීම් ගොඩක් තියෙනවා. ගොඩක් වෙලාවට දැන් වගේ නෙවයි ඉස්සර රසිකාවියෝ පිරිලා ලියුම් මිටි ගණන් එනවා. සින්දු පොත් හදලා එවනවා. අපි ලියුම් ෆයිල් එකක දාලා එකතුත් කළා.
සමහර අය හිටියා කරදරයක් වෙන තරමට ලියුම් එව්ව. අපිට බයත් හිතුණා වෙඩින් එක දවසටවත් මේ අය හොයාගෙන එයිද කියලා. එදා පොඩි ආරක්ෂාවකුත් දාන්න වුණා. මට හොඳටම මතකයි වෙන්නපුව , කුරුණෑගල ඒ විදිහේ රසිකාවියෝ දෙන්නෙක් හිටියා.
තව මෙයා තරහා වුණාමත් හරි කරදයි. පොඩි පොඩි දේවල් වලට රංඩු වුණාම හරි වදයක් වෙනවා. ෆොන් එකටවත් එන්නේ නැහැ කතා කරන්න. ආදරය කරන දෙන්නෙකුට අද වගේ එදා කතා කරන්න ෆෝන් තිබුණේ නැහැ. ගේ ළග තිබුණ කඩයකට ඇවිල්ලා තමයි අපි කතා කරන්නේ. දවස් දෙකකට සැරයක් කඬේට ගිහින් මම කතා කරනවා.
තරහ වුණාම මම කඬේට ගිහින් බලන් ඉඳලා එනවා. දවසක් ඒ විදියට තරහ වෙලා අන්තිමේදි මට ගංගාරාමේ සිද්ධාර්ථ හාමුදුරුවන්ට කතා කරන්න වුණා මෙයාව යාළු කරවගන්න. සිද්ධාර්ථ හාමුදුරුවෝ අපිට ගොඩක් හිතවත්. ඉතින් හාමුදුරුවන්ගේ වාහනේ වෙන ගමනක් යන ගමන් වගේ මෙයාව දාගෙන හාමුදුරුවන් අපේ ගෙදර මිදුලට එනකල්ම එඞ්වඞ් දැනගෙන හිටියේ නෑ එන්නේ අපේ ගෙදර කියලා. එදා හාමුදුරුවෝ අපිව යාළු කෙරෙව්වා. අපේ ආදර අන්දරයට පළමුවෙන්ම ආශිර්වාද කළෙත් අපිට උදව් කළෙත් සිද්ධාර්ත හාමුදුරුවෝ.
මෑතකද ඔබ දෙපළ නැවත විවාහ මංගල උත්සවයක් පැවැත්තුවා. ඇයි ඒවගේ දෙයක් කරන්න හිතුවේ ?
ඒ අපේ විසිපස්වැනි විවාහ සංවත්සරය දවස. අවුරුදු පනහ වෙද්දි අපි ඉඳීද නැද්ද දන්නේ නැහැ. ඒ නිසා තමයි අපි අවුරුදු විසිපහ සමරමු කියලා තීරණයකට ආවේ. 2016 – ජනවාරි 17 වෙනිදා. ඒ අවුරුදු විසිපහ ඇතුළේ ජීවිතේ දුක,සතුට,පරාජය, එපාවීම්,කලකිරීම් හැමදේම තිබුණා. ගංගාරාම පන්සලේදී අපේ වෙඩින් එකට එදා හිටිය අයමයි එදාත් අරගත්තේ.සමහරු වයසට ගිහිල්ලා, සමහරු තරුණ වෙලා . කාලයේ වෙනස එක්ක ඒ හමෝම එහෙම දැක්කම ගොඩක් සතුටු හිතුණා.ඇත්තට අපි නිර්මාංශිකව ඉඳලා පුජාවක් වගේ දෙයක් කළේ.
එඞ්වඞ් කියන්නේ මොනවගේ ගතිගුණ තියෙන කෙනෙක් කියලද දැනෙන්නේ?
පිළිවෙළට වැඩ කරන, හරි නිවුන කෙනෙක්.කාටවත් කිසි කරදරයක් කරන කෙනෙක් නෙවෙයි. ඒ වගේම තමයි අපිට කවදාවත් නීති දාන්නේ නැහැ කිසිම දෙයකට. කෑම බීමවලින් වුණත් කවදාවත් වද කරන්නේ නැහැ.අනික් කෙනා ගැන හරියට හිතනවා. ගතිගුණ හරිම හොඳයි. ඒ නිවුණ ගති ගුණවලට තමයි එදා මං කැමති වුණේ.
මේ තරම් වැඩ ගොඩක් එක්ක කොහොමද කාල කළමනාකරණය කරගන්නේ?
කාර්ය බහුල මවක්, බිරිඳක් විදියට මගේ හැම වැඩකටම මගේ දරුවො දෙන්නාගෙන් වගේම එඞ්වඞ්ගෙනුත් ලැබෙන්නේ ලොකුම ලොකු සහායක්. මමත් කාල කළමනාකරණය ගැන හොඳට දන්නවා. එයාලගේ වැඩ මං අතපසු කරන්නේ නැහැ. බෙදාගැනීම වගේ බලාගැනීමත් ජීවිතේදී වැදගත් වෙනවා.එතකොට තමයි ජීවිතේ තවත් ශක්තිමත් වෙන්නේ.
එදා අද ගැන ආපස්සට හැරිලා බැලූවොත් මොකද හිතෙන්නේ?