උදෑසන ආහාර වේල අපට ඉතාමත් වැදගත් වනවා. ඒත් එම කාරණය හුඟ දෙනෙක් ට අමතක වෙනවා. ඒ කාර්යබහුලත්වය නිසා හෝ මානසික හේතු මත විය හැකියි. කුඩා පාසල් ළමුන්ගේ ඉඳන් වැඩිහිටියන් දක්වා ම උදේ ආහාර වේල ඉතා වැදගත් වනවා. උදෑසන ආහාර වේල ප්‍රමාද වී ගැනීමෙන් හෝ නොගැනීමෙන් ඇති වන රෝග පිළිබඳව පුවත්පතක පළවූ සටහනක් පහතින් දැක්වෙනවා.
උදෑසන ආහාර වේල ගැනීමෙන් වැළැකී සිටීම හා එය ප්‍රමාද වී ගැනීමෙන් හෘද රෝග, දියවැඩියාව හා ස්‌ථුලභාවය ඇතුළු බෝ නොවන රෝග ගණනාවක් වැළඳීමේ අවදානම ඉහළ නංවන බව ඇමරිකා එක්‌සත් ජනපදයේ කොලොම්බියා සරසවියෙහි පර්යේෂකයින් කණ්‌ඩායමක් විසින් සිදු කරන ලද නවතම අධ්‍යයනයකදී හෙළි වී තිබෙනවා.
මෙම අධ්‍යයනය පිළිබඳව හෙළි කරමින් පර්යේෂකයින් කණ්‌ඩායම සඳහන් කර ඇත්තේ අප උදෑසන ආහාර වේලට එක් කර ගන්නා ආහාර වර්ග ගැන අවධානය යොමු කිරීම හා සමාන වැදගත්කමක් එම ආහාර වේල ගනු ලබන වේලාව සඳහාද ලබා දිය යුතු බවයි.
උදෑසන ආහාර වේල උදෑසන 8.00 වන විට ගැනීම යෝග්‍ය බව වෛද්‍ය මතය වී තිබෙන්නේ.
මෙම අධ්‍යයනයට අනුව උදැසන ආහාර වේල ගනු ලබන වේලාව මෙන්ම ගනු ලබන ආහාර ප්‍රමාණයද හෘද රෝග, ආඝාතය (ස්‌ට්‍රෝක්), අධික රුධිර පීඩනය, රුධිර ගත ග්ලූකෝස් මට්‌ටම ඉහළ යැම යන රෝග තත්ත්වයන්ට ගොදුරු වීමේ අවදානම ඉහළ පහළ යාම තීරණය කරන සාධකයන්ය.
එමෙන්ම ඉන්සියුලින් සංවේදීතාව අඩු වීම කෙරෙහිද ප්‍රමාද වී උදැසන ආහාර වේල ගැනීම හේතු වන බව මෙහිදී අනාවරණය වී ඇත්තේ.
දිනපතාම උදෑසන ආහාර වේල ගන්නා අය අධි කොලෙස්‌ටරොල් හා අධි රුධිර පීඩනය යන රෝග තත්ත්වයන්ට ගොදුරු වීමේ අවදානම අඩු බව අධ්‍යයනයේදී හෙළි වී තිබෙනවා.
එමෙන්ම උදෑසන ආහාර වේල මගහැර කෙටි ආහාරයක් (ස්‌නැක්) ගෙන දවස පුරාම එම ආහාරයෙන් ගත කරන අය ස්‌ථුලභාවයට හා දුර්වල පෝෂණය මත දියවැඩියාවට ගොදුරු වීමේ අවදානම වැඩි බව එම පර්යේෂකයන් පවසනවා.
මේ අනුව උදෑසන ආහාර වේල ලබා නොගන්නා අය හෘදයාබාධයන්ට ගොදුරුවීමේ අවදානම සියයට 27 කින්ද, ආඝාතයට ගොදුරුවීමේ අවදානම සියයට 18 කින්ද වැඩි බව අධ්‍යයනයේදී හෙළි වී තිබෙන අතර රාත්‍රි ආහාරය ප්‍රමාද වී ගන්නා අයද හෘද රෝගවලට ගොදුරු වීමේ අවදානම වැඩි බව පර්යේෂකයන් පවසා තිබෙනවා.