ඒ, එරට ගිනිකොනදිග වෙරළ තීරයේ සිදුවූ අතිශය ප්‍රබල භූචලනයක් පිළිබඳවයි.
ජපාන වේලාවෙන් අද පස්වරුවේ සිදුවූ මෙම භූචලනය රික්ටර් මාපකයේ 7.5 ක අගයක් ලෙස සටහන් වී තිබෙනවා. මෙම ප්‍රබල කම්පනයත් සමඟ ජපානයේ වෙරළබඩ ප්‍රදේශ රැසක ගොඩනැගිලි පවා සෙලවී ගිය බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.
භූචලනයත් සමඟම ජපාන කාලගුණ විද්‍යා අංශ විසින් මීටර් 3 ක් (අඩි 10 ක්) පමණ උසැති සුනාමි රළ වෙරළට ළඟා විය හැකි බවට දැඩි අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. වෙරළබඩ ප්‍රදේශවල වෙසෙන ජනතාවට වහාම ආරක්ෂිත උස්බිම් වෙත යන ලෙසයි උපදෙස් දී ඇත්තේ.
නවතම වාර්තා පවසන්නේ සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් වූ පළමු රළ පහර ජපානයේ ඉවාටේ (Iwate) ප්‍රාන්තයට මේ වන විටත් ළඟා වෙමින් පවතින බවයි. එහි එක් රළක් සෙන්ටිමීටර් 40 ක පමණ උසකින් යුක්තව වෙරළට පැමිණ ඇති බව නිරීක්ෂණය වී තිබෙනවා.
කෙසේ වෙතත්, ඉදිරි පැය කිහිපය තුළ රළ පහරේ වේගය සහ උස තවත් වැඩි විය හැකි බැවින් ජපානයම මේ වන විට පසුවන්නේ දැඩි අවදානම් තත්ත්වයකයි.