මල් සුවඳට වඩා ෆෝමලින් සුවඳ හුරු කරගත්, මල් යහන් වෙනුවට එම්බාම් මේසය මත ජීවිතයේ අනිත්‍යය පසක් කරන ඇය, කුලියාපිටියේ ස්නේහා උදයානි ය.
ස්නේහා මේ වෘත්තියට පිවිසෙන්නේ තාත්තා නිසාය. බොහෝ දරුවන් බෝනික්කන් එක්ක සෙල්ලම් කරන වයසේදී ස්නේහා කළේ තාත්තා මළ සිරුරක් හැඩගන්වන අයුරු බලා සිටීමයි.
"මම අවුරුදු 8 ඉඳලා එම්බාම් කාමරේ ජීවත් වෙන්නේ. රෑ 12ට යක්කු ගස් නගිනවා කිව්වට මම මල්ශාලාවේ පුටුවක් උඩ තනියම නිදියලත් තියෙනවා.කිසිම හෙවනැල්ලකට මම බය වෙලා නැහැ." ඇය පවසන්නේ අතිශය සැහැල්ලුවෙනි.
ඇගේ වෘත්තීය ජීවිතයේ අමතක නොවන සිදුවීමක් වන්නේ මියගිය තරුණ හෙදියකගේ සිරුරට මංගල සාරිය ඇන්දවීමට සිදුවීමයි. ලබන මාසයේ විවාහ වීමට සිටි ඇය, අවාසනාවන්ත අනතුරකින් මියගොස් තිබිණි. මියගිය පෙම්වතියගේ දේහය දෙස බලා හඬා වැටුණු පෙම්වතා දුටු ස්නේහාට එදා ජීවිතය ගැන දැනුණේ පුදුමාකාර කලකිරීමකි.
"මිනී කපන කෙල්ල" කියා ගමෙන් සහ පාසලෙන් ඇයට එල්ල වූ නින්දා අපහාස අපමණය. ඒ නිසාම වයස අවුරුදු 16 දී ඇයට පාසලෙන් අයින් වීමට පවා සිදු විය. නමුත් ඇය වැටුණේ නැත. දෛවය ඇයට ඇගේ වෘත්තියෙන්ම සහකරුවෙකු මුණගැස්වීය. ඔහු ක්‍රිෂාන් ධනුෂ්කය. වයස 18 දී විවාහ වූ ඔවුන් දෙදෙනා අද එකට එක්ව මළ සිරුරු එම්බාම් කරමින් සතුටින් ජීවත් වෙති.
ස්නේහා ලෝකයට දෙන පණිවිඩය ඉතා ප්‍රබලය. ඇය පවසන්නේ පණ නැති මිනිසුන් කිසිවකුටත් වරදක් නොකරන බවයි. බිය විය යුත්තේ ජීවත්ව සිටින, තවෙකෙකුට ඕනෑම ව්‍යසනයක් කළ හැකි පණ ඇති මිනිසුන්ට බව ඇය අවධාරණය කරයි.